මන්නාරම සමුහ මිනීවළ: අධිකරණය නොතකා හරින බවට රාජ්‍ය නිලධාරින්ට චෝදනා

න්නාරම තිරුකේතීශ්වරම්  සමූහ මිනී වළෙහි සහ ඒ ආසන්නයේ තිබෙන අතහැර දමන ලද  ළිඳක වළ දමා ඇතැයි සැක කෙරෙන ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ මළ සිරුරු පිළිබඳ කැණීම් සහ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්නැයි මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දෙන  නියෝග අදාළ රාජ්‍ය නිලධාරීන් දිගින් දිගටම නොසලකා හරිමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

මෙම චෝදනා මතු වූයේ B /768/ 2013 සහ B /741/ 2015 අංක දරණ මන්නාරම සමුහ මිනි වළෙහි සහ ළිඳෙහි ඉදිරි  පරීක්ෂණ කටයුතු පිළිබඳ නඩුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳුදා (4)  නැවත වරක්  කැඳවන ලද අවස්ථාවේදී ය.

අදාළ නඩුව පසුගිය මාර්තු 4 වැනි දා කැඳවන ලද අවස්ථාවේදි මන්නාරම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒජී ඇලෙක්ස්රාජා නීතිපති‍ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබුවේ පරීක්ෂණ මෙහෙයවන කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දායකත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් ඉදිරි පරීක්ෂණයන් මෙහෙය වීමට වහාම මැදිහත්වන ලෙසටයි.

තිරුකේතීශ්වරම් සමුහ මිනී වළෙන් සොයා ගනු ලැබු මිනිස් අස්ථි සාම්පල පිළිබඳව කාල නීර්ණ පරික්ෂණයක් කිරිමට සුදුසු විදෙස් වෝහාරික රසායනාගාරයක් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අධිකරණය විසින් කරන ලද නියෝගයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාධාරණ හේතු දැක්වීමකින් තොරව දිගින් දිගටම පමා කරන බවට අගතියට පත් පාර්ශවයේ නිතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම චෝදනා නැඟිණ.

පාර්ශ්ව 13 ක්

නමුත් සඳුදා  දින පැවති නඩු වාරයේදි ද නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටිය බව, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින නිතිඥ වී එස් නිරංජන් JDS  හා කියා සිටියේය. එසේම පසුගිය නඩු වාරයකදි අදාළ ළිඳෙහි කැණීම් කටයුතු සිදු කිරීමට නියෝග කර තිබුණද පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය සහ ඒ සඳහා සහභාගී විය යුතු නිලධාරීන් නොපැමිණීම හේතු කොට ගෙන සඳුදා දිනට කල් දමා තිබු බවත්, නමුත් නඩු වාරයට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු සැළකිය යුතු පිරිසක් පැමිණි නොසිටි බවත් පවසා සිටි නීතිඥ නිරංජන් ඒ නිසාම නඩුව දින නියමයක් නොමැතිව කල් දැමු බවටත් සඳහන් කළේය.

"පසුගිය නඩු වාරයේදි මහේස්ත්‍රාත්තුමා ඉතා පැහැදිලිවම කියා සිටියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුයේ නිලධාරීන්ගේ දායකත්වය ගැන සෑහීමකට පත්වෙන් බැරි නිසා නඩුවට නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත්වන ලෙස. නමුත් ඔවුන් අද නඩු වාරයට පැමිණියේ නැහැ. ඒ විතරක් නෙමෙයි ගිය වතාවේ ළිඳ හාරන්න බැරි වුණෙත් අදාළ නිලධාරීන් ආපු නැති නිසායි. ඊයේ නඩු වාරයට රජයේ නිලධාරීන් වන  පාර්ශව 13 කට මහේස්ත්‍රාත්තුමා නොතීසි නිකුත් කර තිබුණා. නමුත් ආවේ කිහිප දෙනායි. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඊයෙත් ඇවිත් හිටියේ නෑ" ඔහු කීය.

මන්නාරම තිරුකේතීශ්වරම් සමුහ මිනී වළෙහි අස්ථි සාම්පල භාර එවකට අනුරාධපුරය මහ රෝහලේ  විශේෂඥ අධිකරණ නිලධාරිවරයා වු වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මෙන්ම මන්නාරම රෝහලේ වත්මන් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාටද අධිකරණය විසින් නොතීසි නිකුත් කොට තිබියදීත් නොපැමිණි බව නිතිඥ වී.එස්.නිරංජන් වැඩි දුරටත් සඳහන් කළේය.

"මහේස්ත්‍රාත්තුමා එක්ක අපි දවල් 12 වෙනකම් අදාළ ළිඳ ළඟට වෙලා බලාගෙන හිටියා. නමුත් අධිකරණ වෛද්‍යවරුන් හෝ වගකිව යුතු කිසිම නිලධාරිවරයෙක් ආවේ නෑ. රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා කිවුවේ අධිකරණ වෛද්‍යවරයෙක් නැතිව ළිඳ හාරන්න බැරි බව සහ ඔවුන්ට කිසිදු වගකීමක් භාර ගන්න බැරි බවයි. පස්සේ සහකාර වෛද්‍යවරයෙක් මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයට දුරකතනයෙන් ඇමතුවත් ඔහු එයටත් කිසිම ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ. මේ විදිහට අධිකරණ නියෝග නොතකා හරිනවා නම් අදාළ පුද්ගලයන්ට එරෙහිව වරෙන්තු  නිකුත් කරන්නට සිදුවනවා කියලත් මහේස්ත්‍රාත්වරයා ප්‍ර‍කාශ කළා".

මේ සම්බන්ධව  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්නගෙන් විමසීමේදි ඔහු JDS හා කියා සිටියේ මන්නාරම සමුහ මිනී වළෙහි කැණිම් කටයුතු සඳහා මැදිහත්වන ලෙස තමන්ට අධිකරණයෙන් කැඳවීමක් ලැබුණු මුත් තමන් භාර ගත් පරීක්ෂණයන්ට අමතරව වෙනත් කිසිදු පරීක්ෂණයකට මැදිහත් විමට තමන්ට නොහැකි බවට කරුණු  දක්වමින් තමා අධිකරණයට ලිපියක් යොමු කළ බවයි. එසේම තමන් එම පරීක්ෂණයන්ට සම්බන්ධ වුයේ එවකට අනුරාධපුර මහ රෝහලේ විශේෂඥ අධිකරණ නිලධාරිවරයා ලෙස බවත්, මේ වනවිට තමන් සේවය කරන්නේ මාතලේ මහ රෝහලේ බවත් ය.

“අනෙක් කාරණාව මේ සම්බන්ධයෙන් සේවය ලබාගත හැකි අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙක් මේ වන විට මන්නාරම රෝහලේම සේවය කරනවා“ ඔහු කියා කිටියේය.

පෙර භාර ගත් අස්ථි සාම්පලයන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණයන්වල ප්‍රගතිය කවරේදැයි විමසීමේදි වෛද්‍ය ධනංජය වැඩි දුරටත් කියා සිටියේ තමන් මාතලේ රෝහලට ස්ථාන මාරුවක් ලැබ පැමිණියේ 2014 වර්ෂයේදි බවත් එයින් පසු ඒ සම්බන්ධව මැදිහත් වීමට තමන්ට නොහැකි වු බවත් ය.

‘පරිපාලන ප්‍ර‍ශ්නයක්‘

"මම මාරුවෙලා ආවේ 2014 දියි. පරීක්ෂණ පවත්වන්න කියලා අධිකරණයෙන් මට භාර දුන්න අස්ථි සාම්පල තාමත් තියෙන්නේ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයගේ කාර්යාලයේ. එහි දැන් වෙනත් අධිකරණ වෛද්‍යවරයෙක් සේවය කරනවා. මට එහෙට ගිහින් පරීක්ෂණ කරන්න අවසර දෙන්න කියලා මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට ලිඛිතව දැනුම් දුන්නත් තාමත් උත්තරයක් නෑ. මම බලහත්කාරයෙන් එතන ගිහින් වැඩ කරන්න බෑ. ඒක මගේ පුද්ගලික වැඩක් නෙමෙයි. මෙතන තියෙන්නේ පරිපාලන ප්‍රශ්නයක්".

කෙසේ නමුත් අස්ථි කොටස්වල කාල නීර්ණ පරික්ෂණයක් සිදු කිරීමට සුදුසු රසායනාගාරයන් නොමැති බවටත්, තමන්ට හැකියාව ඇත්තේ ඩී එන් ඒ පරීක්ෂණයන් සිදු කිරීමට පමණක් බවටත් ගෝතමාලා රාජ්‍යයේ පරීක්ෂණ ආයතනයෙන්  තමන්ට ලිඛිතව දැනුම් දී ඇති බව මෙවර නඩු වාරයෙදි අපරාධ පරීක්ෂණ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ. එසේම ඒ සම්බන්ධව ඉල්ලීම කෙරුණු පේරූ සහ ආර්ජන්ටිනාව යන රටවල් දෙකෙන් තවමත් පිළිතුරක් ලැබී නොමැති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බව නීතිඥ නිරංජන් ප්‍ර‍කාශ කළේය.

‘දේශපාලන ප්‍රශ්නයක්‘

මේ සම්බන්ධව විමසීමේදි අපරාධ නීතිය පිළිබඳ ජේෂ්ඨ නීතිඥයකු JDS හා කියා සිටියේ මෙවැනි සුවිශේෂී අපරාධ නඩුවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයන්ට සහාය දීම රාජ්‍ය නිලධාරින් සතු වගකීමක් බව ය.

‘යම් රාජ්‍ය නිලධාරිවරයෙක් අධිකරණ නියෝග දිගින් දිගටම පැහැර හරින්නේ නම් ඔහුට විරුද්ධව නෛතික කටයුතු කිරිමට අධිකරණයට මෙන්ම ඉහළ නිලධාරින්ටද බලය තියෙනවා. කවර හෝ පරිපාලන ගැටළුවක් නිසා අධිකරණ නියෝග නොතකා හැරීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට නොහැකියි. ඇත්තෙන්ම, මන්නාරම සමුහ මිනී වළ සම්බන්ධයෙන් ඇත්තේ දේශපාලන ගැටළුවක්“ ඔහු කීය.

2013 වර්ෂයේදි සොයා ගත් මන්නාරම තිරුකේතීශ්වරම් සමුහ මිනී වළෙන් මේ වන විට පුද්ගලයන් 80 ට අධික පිරිසකගේ  අස්ථි කොටස් සොයා ගෙන ඇති අතර ප්‍රදේශයේ අතුරුදහන්ව ඇති පුද්ගලයන්ගේ ඥාතීන් විසින් කරන ලද පැමිණිළි හේතුවෙන් ඒ සම්බන්ධව අධිකරණ පරික්ෂණයන් ආරම්භ වී තිබේ.☐

© JDS


සබැඳි ලිපි:

06.03.2016 - මන්නාරම සමූහ මිනීවළ: රහස් පොලිසිය පරීක්ෂණ අතපසු කරන බවට චෝදනා
19.10.2015 - මන්නාරම සමුහ මිනීවළ: කාල නීර්ණ පරීක්‍ෂණයකට ඉල්ලීමක්
31.08.2015 - මන්නාරම සමූහ මිනීවලට නුදුරු වසා දැමූ ළිඳට පැය 24 පොලිස් ආරක්ෂාව
30.03.2015 - මළවුන් සාමයෙන් නොනිදන මන්නාරමේ මිනිස් දඩබිම
17.03.2015 - මන්නාරම සමූහ මිනී වළේ කැණීම් යළි අරඹන ලෙස අධිකරණ නියෝගයක්