'පුදුවෛ කවියා වෙනුවෙන් හඬක් නොනඟන්නේ ඇයි?' - උතුරු පළාත් ඇමතිවරයා අසයි

විමුක්ති කොටි සංවිධානයේ සංස්කෘතික අංශ ප්‍රධානියාව සිට යුද්ධය අවසානයේ හමුදා භාරයට පත් වූ ප්‍රකට දෙම‍ළ කවි පුදුවෛ රත්තිනතුරෛ නිදහස් කරන්නැයි දෙමළ කවීන් සහ සාහිත්‍යකරුවන් හඬ නඟන්නට පැකිලෙන්නේ ඇයිදැයි උතුරු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය පොන්නතුරෛ අයින්ගරනේසන් විමසා සිටියි.

මාධ්‍යවේදියකු මෙන්ම කවියකු වන සෙල්වකුමාරන්ගේ අලුත්ම කාව්‍ය ග්‍රන්ථය වූ ‘ඌසල්’ (අවලම්බය) එළිදැක්වීම නිමිති කරගනිමින්  යාපනය, නල්ලූරුවේ, ත්‍යාගි‍ පුන්‍යාධාර භාරයේ සොර්නම්බිකෛ ශාලාවේදී  පැවති උත්සවයේ මූලාසන දේශනය කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

‘‘පුදුවෛ ශ්‍රේෂ්ඨ කවියෙක්. විශිෂ්ඨ ගණයේ ලේඛකයෙක්. ලියන්නෙක් වෙනුවෙන් හඬක් නඟන්න එකම එක ලියන්නෙක්වත් මේ දෙමළ සමාජයෙ නැද්ද?’’ ඔහු ප්‍රශ්න කර සිටියේය.

58 වැනි සේනාංකය

ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද උගත් පාඩම් සහ ප්‍ර‍තිසන්ධාන කොමිසම හමුවේ ලබාදෙන ලද සාක්‍ෂි මඟින් අනාවරණය වී ඇත්තේ 2009 මැයි මාසයේ 18 වැනිදා මුලතිවු දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලම මත දී පුදුවෛ රත්තිනතුරෛ ශ්‍රී ලංකා යුද හමුදාවට භාර වූ බව ය.

"එසේ භාර වූ 50 දෙනෙක් පමණ බසයකට නංවාගෙන රැගෙන ගියා. ඉන් පසුව ඔවුන් ගැන කිසිම ආරංචියක් නැහැ"යි එල්ටීටීඊ සවිධානයේ ජ්‍යේෂඨ සාමාජිකයෙකු වූ දිලිප් යෝගීගේ බිරිඳ වන ජෙයවතී යෝගී 2010 නොවැම්බරයේදී ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියාය. යෝගී ඇතුළු එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශ සාමාජිකයන් ගණනාවක් යුද්ධයේ අවසාන අධියරේදී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාරවීමෙන් පසු අතුරුදහන් වූ බවට සැළකේ.

හමුදාවට එසේ භාර වීමෙන් පසුව අතුරුදහන් වූ වැසියන්ගේ ඥාතීන් විසින් ගොනු කරන ලද හබයාස් කෝපුස් පෙත්සම් මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් පෙබරවාරි 17 වැනිදා  විභාගයට ගත් අවස්ථාවේදී පෙනී සිටි දී ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ ආඥාපති මේජර් ජෙනරාල් කාවින්ද චානක්‍ය ගුණවර්ධන කියා සිටියේ සිය සේනාංකය වෙත භාරවූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ නාම ලේඛනයක් තමන් සතවු ඇති බවයි.

පුදුවෛ අමතක කිරීම   

යුද්ධයේ අවසාන මොහොතෙදි පුතුවෛ රත්තිනතුරෛ හමුදාවට බාර දෙනු ලැබ ඇත්තේ ඔහුගෙ බිරිඳ විසින් බව සඳහන් කළ උතුරු පළාත් සභා ඇමතිවරයා, මේ වන තුරු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය කිරීමට ශ්‍රී ලංකා රජය සමත් වී නැති බව ද පෙන්වා දුන්නේය.

"ලේඛකයෝ හඬ නැඟිය යුත්තෙ ඔහුට යුක්තිය ඉටු කරවා ගන්නටයි. පුදුවෛ බොහෝ කවීන්ට, ලේඛකයන්ට අත දුන්නා. අද වන විට ඒ බොහෝ අය පොත් පළ කරමින් ප්‍රකට ලේඛකයො බවට පත්වෙමින් ඉන්නවා. නමුත් මේ හැම දෙනාම අද පුදුවෛ  අමතක කරලා. මේක අතිශයින් වේදනාකාරී හැඟිමක්. ඔහු වෙනුවෙන් හඬක් නඟන්න මේ තරම් දෙගිඩියාවක් ඇයි කියන එක මට ගැටළුවක්," අයින්කරනේසන් වැඩි දුරටත් පවසා සිටියේය.☐

© JDS