පැහැරගැනීම් සහ වධ හිංසා ගැන ITJP වාර්තාව හෙළි කරයි

ව ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසරක කාලය තුළ ද, ශ්‍රී ලංකාවේ  ආරක්‍ෂක අංශ විසින් සිදුකරනු ලබන සුදුවෑන් පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම් හා ලිංගික හිංසනයන් නොකඩවා සිදුවෙමින් පවතින බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දෙකක් විසින් එළිදක්වනු ලැබ ඇති නවතම වාර්තාවලින් පෙන්වා දෙයි.

මෙම වාර්තාවන්ට හා අදාළ තොරතුරු මූලාශ්‍රවලට අනුව මෛත්‍රිපාල සිරිසේන ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් ගෙවුණු වසරක කාලය තුළ මෙ වැනි සිදුවීම් 30කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් සාක්ෂි එම සංවිධාන වෙත ලැබී තිබේ.

සත්‍යය හා යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (International Truth and Justice Project - ITJP) විසින්  බ්‍රහස්පතින්දා (07) නිකුත් කරන ලද වාර්තාවෙහි සුදුවෑන් පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම් හා ලිංගික හිංසනයන්ට අදාළ සිදුවීම් 20ක තොරතුරු අඩංගු වේ. මීට අමතරව තවත් එවැනි සිදුවීම් 5කට වැඩි ප්‍රමාණයකට අදාළ තොරතුරු තමන් අත පවතින බවත්, ඒවා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයාබැලෙමින් පවතින බවත්, ITJP ප්‍ර‍කාශකයෙක් JDS වෙත අනාවරණය කළේ ය.

වාර්තාවට ඇතුළත් වදහිංසාවට හා ලිංගික දූෂණයන්ට ලක්වී ඇති 20 දෙනාගෙන් 5 දෙනෙක් ස්ත්‍රීන් වන අතර ඉතිරි 15 දෙනා පිරිමි වෙති.

බ්‍රිතාන්‍යයේ පිහිටි වධහිංසාවන්ට පාත්‍ර‍ වූ වින්දිතයන් රැකබලාගැනීමේ වෛද්‍ය පදනමක් වන 'වධහිංසාවලින් නිදහස' (Freedom From Toture - FFT)  සංවිධානය කියා සිටින්නේ නව ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසරක කාලය තුළ තමන් වෙත එවැනි සිදුවීම් 8ක් වාර්තා වී ඇති බව යි.

‘සුදුවෑන් තවමත් ක්‍රියාත්මක යි’

“ශ්‍රී ලංකාවේ ‘සුදුවෑන්’ අවාසනාවන්ත ලෙස තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ; එය සුපුරුදු පරිදි ම දියුණු ව්‍යාපෘතියකි” යි ITJP වාර්තාව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි දී එළිදක්වමින් එම සංවිධානයේ යස්මින් සූකා පවසා සිටියාය. “රාජ්‍යයේ මර්දනකාරී යාන්ත්‍රණය බිඳදැමීමට හේතුවන ආරක්ෂක අංශවල කඩිනම් ප්‍රතිසංස්කරණයක් නොමැතිව, වගවීමක් ඇතිවිය නොහැකි බව මෙම තත්ත්වය විසින් පෙන්වාදෙන්නේය”යි ද යස්මින් සූකා අවධාරණය කරයි.

2015 වසර තුළ දී තමන්ට ශ්‍රී ලංකාවේ හමුදා හා පොලිස් ඒකකයන් ගේ අත්අඩංගුවේ සිටිය දී විඳින්නට සිදු වූ අමානුෂික වධහිංසා හා ලිංගික අපහරණයන් පිළිබඳ විස්තරාත්මක සාක්ෂි රටවල් හතරක සිටින දෙමළ වින්දිතයන් 20 දෙනකු විසින් ITJP වෙත ලබාදී තිබේ.

අවසන් පැහැරගැනීම දෙසැම්බරයේ

මීට පෙර ද වධහිංසා පමුණුවන ස්ථාන ලෙස ජාත්‍යන්තර වාර්තා විසින් පෙන්වා දුන් වවුනියාවේ ජෝසොෆ් කඳවුර ඇතුළු හඳුනාගත් ස්ථානවල දී සේම රහස්‍ය වධකදවුරුවල දී ද මෙම වධහිංසා සිදු වී තිබේ. ITJP වාර්තාව හෙළිදරව් කරන  මෑතම වධහිංසා හා ලිංගික හිංසනයන් සහිත සුදුවෑන් පැහැරගැනීම සිදුවී ඇත්තේ පසුගිය මාසයේ, එනම් 2015 දෙසැම්බරයේදී ය.

ITJP ට අනුව ඇතැම් දෙමළ දේශපාලනඥයෝ ද, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය ද, ශ්‍රී ලංකාව තුළ සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු ද දැනටත් සිදුවෙමින් පවතින මෙම මානව හිමිකම් උල්ලංඝනයන් ගැන දැනුවත් ව සිටිති. වධහිංසා පැමිණවීම් හා ලිංගික හිංසනයන් අවසන් කිරීම සම්බන්ධයෙන් සැබෑ වුවමනාවක් ඇත්නම් මෙම සිදුවීම් පිළිබඳව කඩිනම් විමර්ෂණයන් සිදුකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට හැකි බව සිය වාර්තාව එළිදක්වමින් ITJP කියයි. අතීතයේ දී එල්ටීටීඊ සංවිධානය සමඟ සබඳතා පැවැති, දැනට විදේශගත ව දිවිගෙවන දෙමළ ජාතිකයන්ට ආපසු ලංකාවට යාමේ ඇති අවදානම පිළිබඳව ද වාර්තාව අනතුරු හඟවයි.

2015 ජිනීවා යෝජනාවලියට අනුව වගවීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව බැරෑරුම්ව කල්පනා කරන්නේ නම්, ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ හා සාක්ෂිකරුවන් ආරක්ෂාකිරීමේ ඵලදායී වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීම වැනි පියවරයන් ගැනීමේ වැදගත්කම ITJP වාර්තාව අවධාරණය කරයි.

“යුද්ධයෙන් දිවි ගලවාගත්තකුට දැනට ක්‍රියාත්මක මර්දනකාරී හා නො ඉවසනසුළු වාතාවරණය තුළ සත්‍ය කොමිසමක් හමුවේ ආරක්ෂිතව සාක්කි ලබාදිය හැකිද යන්න බලවත් ගැටලුවක්” යස්මින් සූකා වැඩිදුරටත් කියා සිටී.

“ජනාධිපති සිරිසේන ගේ පළමු පාලන වසර මත වධහිංසාවේ සෙවනැල්ල වැටී ඇත” - FFT

ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස සිරිසේන ගේ පළමු වසරක පාලන කාලය මත වධහිංසාවේ සෙවනැල්ල වැටී ඇතැයි පවසන එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක මානව හිමිකම් අනුග්‍රාහක සංවිධානයක් වන ‘වධහිංසාවලින් නිදහස’ (Freedom From Toture - FFT) කියාසිටින්නේ, ආණ්ඩුව වෙනස් වීමෙන් පසු සිදුකැරුණු වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් මේ දක්වා විශේෂඥ උපදේශන පතා තමන් වෙත ඉදිරිපත් කැරුණු වින්දිතයන් ගේ සංඛ්‍යාව අටක් බව යි. එම අටදෙනා ම දෙමළ ජාතිකයන් වන අතර ශ්‍රී ලංකා හමුදාවන් හෝ බුද්ධි අංශ විසින් ඔවුන් නීති විරෝධීව රඳවාගෙන වධහිංසාවට පමුණුවා ඇති බව එම සංවිධානය කියයි.

“අපයෝජනයේ ‘ගැඹුරු ස්වභාවය’ තවමත් ප්‍රජාවන් භීතියට පත්කරමින් තිබෙන බව හා ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද පුනරුත්ථාපනයට බාධාකරමින් තිබෙන බව හඟවන, සිරිසේන බලයට පැමිණියාට පසුවත් සන්නද්ධ හමුදා හා බුද්ධි අංශ විසින් සිදුකරන වධහිංසා පිළිබඳ වෛද්‍ය සාක්ෂි අප සතුව තිබෙනවා” සිය නවතම තොරතුරු එළිදක්වමින් FFT ප්‍රතිපත්ති හා උපදේශන අධ්‍යක්ෂ සෝන්‍යා ස්කීට්ස් හා ප්‍ර‍කාශ කළාය.

‘ජෝසොෆ් කෑම්ප්’ හා ‘හතරවැනි තට්ටුව’

තමන් මෑතකදී ම වධහිංසාවට පමුණුවනු ලැබුවේ යුද හමුදාව විසින් වවුනියාවේ පවත්වාගෙන යන අපකීර්තිමත් ජෝසොෆ් කඳවුරේ දී බව දිවිගලවාගත්තවුන් දෙ දෙනකු විසින් හඳුනාගනු ලැබ තිබේ. අනෙකුත් හඳුනාගත් වධ කඳවුරු අතරට කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ හතරවැනි තට්ටුව හා තාවකාලික වනගත කඳවුරක් ද ඇතුළත් වන අතර, සෙසු සිදුවීම්වල දී වින්දිතයන් ගේ දෑස් බැඳ තැබීම ද ඇතුළු හේතු නිසා වධක ස්ථානයන් හරිහැටි හඳුනාගැනී නැත.

මෙම මෑතකාලීන වධහිංසාවලින් දිවිගලවාගත්තවුන් බොහොමයක් දෙනා ගේ සිරුරුවල රත්කළ ලෝහ පොලුවලින් සිදුකරන ලද පිළිස්සීම් දක්නට ලැබුණු බවත්, වින්දිතයන් තමන්ට විඳින්නට සිදුවූ ලිංගික වධහිංසාවල විවිධ ආකාරයන් අනාවරණය කළ බවත් FFT කියයි.

තමන්ට වාර්තා වූ සිදුවීම් අට, තමන් ITJP වාර්තාව හා සන්සන්දනය කළ බව පවසන FFT, එම වාර්තාවට ඇතුළත් වන්නේ තමන්ට වාර්තා වී ඇති සිදුවීම් 8න් එක් සිදුවීමක් පමණක් බවත්, සෙසු සිදුවීම් 7ITJP  වාර්තාවට අයත් සිදුවීම් නොවන බවත් ස්කීට්ස් කියා සිටී.☐

© JDS