බිඳුණුවැව රැඳවියන් ඝාතනයට විරෝධය පෑවාට 15 වසරක් තිස්සේ නඩු

ර්ෂ 2000දී බිඳුණුවැව දී දෙමළ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ වතුකරයේ තරුණයන් දහ දෙනෙකු  වසර 15 ක් පුරා නොවිසඳුණු නඩුවකට කොටු කර තිබේ.

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට  සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පසුව බණ්ඩාරවෙල බිඳුණුවැව කඳවුරේ පුනරුත්ථාපන ක්‍රියාදාමයට යටත් කොට සිටි රැඳවියන් 41 දෙනෙකු අතරින් 27 දෙනෙකු 2000 ඔක්තෝබර් 25 වැනිදා අලුයම කපාකොටා මරා දමමින් තවත් 14 කට වැඩි සංඛ්‍යාවකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසියට හා ගම්වාසීන්ට චෝදනා එල්ල විය.  ඝාතනයට ලක් වූ පිරිස අතර වතුකරයේ දෙමළ තරුණයන් ද සිටිමෙන් ප්‍රකෝප වූ වතුකරයේ දෙමළ ජනයා, එම ඝාතනයෙන්  සිව්  දිනකට පසු ඔක්තෝබර් 29 දා වටවල දුම්රිය ස්ථානය අසලට රැස්ව විරෝධතා දැක් වූහ. මේ පිළිබඳව වටවල දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් තලවාකැලේ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පැමිණි පොලිසිය හා විශේෂ කාර්ය බලකාය (STF) විසින් විරෝධතා දැක්වූ ජනතාව වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හේතුවෙන්  තුරෛරාජ් මුතුකුමාර් නම් තරුණයෙකු තුවාල ලැබීය.

විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාර

පසුව පොලිසිය විසින් රැස්ව සිටි පිරිස් විසුරුවා හැරීමත් සමග නවතා තිබු “ උඩරට මැණිකේ” දුම්රියේ මැදිරියක් තුලින් ගින්නක් පැන නැගුනු අතර වටවල වතුයායේ ඉහල කොටසේ සහ පහල කොටසේ කම්කරු තරුණයන් මැදිහත්ව ගින්න පැතිර යාම වලක්වා ගැනීමට කටයුතු කරමින් දුම්රිය මගීන්ද ඉන් මුදා ගැනීමට සමත්විය. නමුත් දුම්රියේ නැරඹුම් මැදිරිය ගින්නෙන් විනාශ වූ අතර එක් මගියෙකු පිළිස්සුම් තුවාල ලැබීය.

පොලිසියට වැරදි තොරතුරු ලබා දෙමින් විශේෂ කාර්ය බළකාය කැඳවීමට කටයුතු කිරීම ගැන ප්‍රදේශවාසී ජනයාගේ විරෝධය වටවල දුම්රිය ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වූ අතර විරෝධය දැක්වූවන් විසින් දුම්රිය ස්ථානය වෙත ගල් ප්‍රහාර එල්ල කෙරිණි.

ඊට දින දහයකට පසු, නොවැම්බර් 08 වැනිදා, වෙඩි වැදුණු තුරෛරාජ් මුතුකුමාර් ඇතුළු තවත් එකළොස් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී‍. එසේ අත් අඩංගුවට ගන්නා ලද අයට පහත නම් සඳහන් පිරිස් අයත් වූහ.

සිදම්බරපිල්ලෛ වසීකරන්

වඩිවේල් සිවඥානම්

වඩිවේල් සිවලිංගම්

පොන්නයියා වඩිවේල්

කරුපයියා ත්‍යාගරාජා

වෙල්ලෛසාමි රාගමුර්ති

පලනියාන්ඩි යෝගේෂ්වරන්

ආරුමුගන් රාජේන්ද්‍රන්

සුබ්‍රමනියම් රවී

සුබ්‍රමනියම් ජයරත්නම්

රාජී බාලචන්ද්‍රන්

නඩුව නුවරඑළියට

ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරතවීම හා පොදු දේපළ වලට හානි කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරන ලද මොවුන් මාස තුනක කාලයක් බදුල්ල බන්ධනාගාරයේ සිරගත කර තැබීමෙන් අනතුරුව අධිකරණය මගින් ඇප මත නිදහස් කෙරිණි. දැනට වසර 15 ක කාලයක් තිස්සේ පැවැත්වෙමින් තිබෙන මෙම නඩු විභාගය අතර තුර සුබ්‍රමනියම් ජයරත්නම් හා රාජී බාලචන්ද්‍රන් යන දෙදෙනා මිය ගියහ. ඉතිරි දස දෙනා තමන්ගේ වියදමින් නීතිඥ ගාස්තු ද දරා ගනිමින් ගත වූ වසර 15 පුරාම අධිකරණයේ පෙනී සිටි අතර කඳුරට ජනතා පෙරමුණේ නායක පෙරියසාමි චන්ද්‍රසේකරන් ජීවත්ව සිටියදී මොවුන් ට සහාය ලබා දී තිබේ.

බදුල්ලේ පැවති නඩු විභාගය 2005 වසරේ මහනුවර අධිකරණය වෙත මාරු කරනු ලැබූ අතර 2009 වසරේදී නුවරඑළිය මහාධිකරණයක් පිහිටුවීමෙන් පසු යළිත් නඩු කටයුතු නුවරඑළියට මාරු කරනු ලැබිණි. තව දුරටත් පැවැත්වෙමින් තිබෙන මේ නඩු විභාගය සඳහා අදාළ සැකකරුවන්ට එරෙහිව මෙතෙක් කිසිදු සාක්ෂියක් ගොනු කර නොමැත.

නිදොස් කොට නිදහස්

බිදුනුවැව සංහාරයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් 41 දෙනා අතරට  බණ්ඩාරවෙල හා දියතලාව පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා  ඇතුළු පොලිස් නිලධාරින් 19 දෙනෙක් අයත් වූ අතර සෙසු අය  බිඳුණුවැව ගම්වාසීහු වූහ. 2003 ජුලි 01 වැනිදා මේ සම්බන්ධ අධිකරණ තීන්දුව ලබා දෙමින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු වැරදිකරුවන් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කෙරිණි. සෙසු සැකකරුවන් නිදහස් කෙරිණි.

මරණීය දණ්ඩනය නියම වු සිව්දෙනා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය,  2005 වසරේ මැයි 17 වැනිදා ඔවුන් සිව් දෙනාම මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීමට නියෝග කරන ලදී. එසේ තිබියදීත්, රැඳවියන් 27 දෙනෙකු කපා කොටා මරා දමා තවත් රැඳවියන් 14 කට වැඩි පිරිසකට තුවාල සිදුකල බිඳුණුවැව ඝාතනයට එරෙහිවවිරෝධතා දැක් වූ කඳුකරයේ වතුකම්කරු තරුණයන්ට  වසර 15 ක් පුරා තවමත් සාක්ෂි ගොනු නොකළ නඩු විභාග පැවැත්වෙමින් තිබේ.

© JDS