2009 න් පසු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කළ 55 දෙනකුට ශ්‍රී ලංකාවේදී වධ හිංසා

ජය යුද්ධය ජය ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන වධ හිංසා පමුණුවන ලද පනස් පස් දෙනකු පිලිබඳ විස්තර තමන් සතුව ඇතැයි වධ බන්ධනයට විරුද්ධව කටයුතු කරන බ්‍රිතාන්‍ය මුල් කොටගත් මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කරයි.

'කිළිටි වූ සාමය: 2009 මැයි සිට ශ්‍රී ලංකාවේ වධ හිංසා (Tainted Peace: Torture in Sri Lanka since May 2009) නම් පිටු 77ක වාර්තාව අගෝස්තු 13 දා නිකුත් කළ  බ්‍රිතාන්‍යය මුලස්ථාන කොටගත් Freedom from Torture (FFT) හෙවත් 'වධ හිංසාවෙන් නිදහස' සංවිධානය පවසන පරිදි ඔවුන්ගේ සමීක්‍ෂණය සඳහා 148 දෙනකු තොරතුරු ලබා දී තිබේ.

ඇතැමකු බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පිටුවහල් කොට ඇත්තේ ඔවුන් ඉල්ලා සිටි දේශපාලන රැකවරණ නොලැබී යාමෙන් අනතුරුවයි.

දේශපාලන රැකවරණ

දෙමළ ඊළම් කොටි සංවිධානය සමග සබඳතා ඇතැයි යන සැකයට බ්‍රිතාන්‍යයෙන් ගිය 50 කට වැඩි දෙමළ පිරිසක් ආරක්‍ෂක අංශ මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසු වධ හිංසාවන්ට ලක්කිරීම පිළිබඳව හෙළිවී ඇති බියජනක තොරතුරු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය  බරපතල ලෙස සැළකිලිමත් විය යුතු බව FFT අධ්‍යක්‍ෂිකාවක් වන සෝනියා ස්කෙට්ස් පවසයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කැපවීමෙන් කටයුතු කරන බව පවසා ඇති අගමැති ඩේවිඩ් කැමරන්, එරට ඇති අන්තරාය පිළිබඳව අවධානය යොමු කොට ඒ අනුව දේශපාලන රැකවරණ සැපයීම පිළිබඳ  බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තිය නැවත සකස් කළ යුතු බව ඇය අවධාරණය කරයි.

වැඩිදෙනකුගෙන් ශ්‍රී ලංකාවේදී ප්‍රශ්න කර තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි. ඒ අතරින් විසි එක් දෙනකුගේ වරද ලෙස දක්වා ඇත්තේ බ්‍රිතාන්‍යයේ නිත්‍යානුකුල උද්ඝෝෂණ වලට සහභාගී වීමයි. එයින්ද, අඩකට වැඩි පිරිසක් උද්ඝෝෂණවල නිරතව සිටියදී ගන්නා ලද ඡායාරුප ශ්‍රී ලංකාවේ ආරක්ෂක නිලධාරීන් විසින් පෙන්වන ලද බවද FFT වාර්තාවේ දැක්වේ.

දිවි ගලවාගැනීමට අල්ලස්

48 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට ගොඩ බැස සති තුනක කාලයක් ඇතුළත ය. 18ක් කටුනායක ගුවන් තොටුපලේදීය. 19 දෙනකු ඔවුන්ගේ නිවෙස් වල සිටියදී ගෙනයන ලද අතර හත් දෙනකු පැහැරගෙන ගොස් ඇත්තේ මහමග ගමන් කරමින් සිටියදී ය. දිවි ගලවාගත් බහුතරයකට ගැලවී ඒමට හැකිවී ඇත්තේ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට අල්ලස් ලබා දීමෙනි.

FFT සංවිධානය පවසන පරිදි තමන්ට තොරතුරු ලබාදුන් හැමදෙනකු ම දරුණු ලෙස පහර කෑමට ලක්වී  තිබේ.  78% ක් පුළුස්සා ඇති අතර, 70% කට වැඩි පිරිසක්  ලිංගික වධ හිංසනයට ගොදුරු වී ඇත. හුස්ම හිර කිරීම සහ දෑතින් හෝ දෙපයින් එල්ලා තැබීම ඇතුළු අමානුෂික වධ බන්ධන පිලිබඳ විස්තරද වාර්තාවේ දැක් වේ.

1985 සිට තමන් වෙත පැමිණි වද හිංසාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 5000 කට අධික බව FFT සංවිධානය පවසයි. 2014 දක්වා වූ වසර තුනේම වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූ 2015 ජනවාරියෙන් පසු ශ්‍රී ලංකාවේදී වධ බන්ධනයට පත්වූ අය ද තම සංවිධානයේ සේවය සොයා ආ බවද ඔවුහු පවසති.☐

© JDS