ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ පොලිස් වද හිංසාවලට උපකාර කරන බව හෙළි වෙයි

ශ්‍රී ලංකාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) විරුද්ධවාදීන් මර්දනය සඳහා ඕස්ට්‍රේලියාව මෙවලම් ලබා දුන් බව එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් විසින් හෙළි කරගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම මහජන සේවා රූපවාහිනිය වන ABC ආයතනය විසින් අගෝස්තු තුන් වැනිදා ප්‍රචාරය කළ වැඩ සටහනකින් හෙළිදරව් කළ පරිදි එරට පොලිසිය ඔත්තු බලන උපකරණ සහ සුදු වෑන් රියක් ශ්‍රී ලංකාවේ රහස් පොලිසියට පරිත්‍යාග කොට ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට දේශපාලන රැකවල් පතා බෝට්ටු මගින් පලා එන පිරිස්වලට අවහිර කිරීම සඳහා 2009 සිට අද දක්වාත් ආධාර කෙරෙන බව මේ සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදුණු ABC මාධ්‍යවේදී ඩිලන් වෙල්ච් ප්‍රකාශ කරයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය පාවිච්චි කරමින් තමන් ලබා ගත්  විස්තර පිටු හතක ලියවිල්ලක අඩංගු බව ඔහු ප්‍රකාශ කළේය.

තාක්‍ෂණික සහාය

ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදී ඇති අධි තාක්ෂණික මෙවලම් අතරට 'ජේඩ්' (Jade Investigator) නම් ඔත්තු බලන මෘදුකාංගයත්, IBM සමාගමේ  i2 Analyst's Notebook නම් පරිගණක වැඩ සටහනත් අයත් බව තමන් සතු ලියවිලිවල සඳහන් බව ද මාධ්‍යවේදී වෙල්ච් කියා සිටියි.

ජේඩ් මෘදුකාංගය මගින් ඡායාරූප, වීඩියෝ, ඔත්තු සේවා වාර්තා ආදිය එකිනෙකට පහසුවෙන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව පොලිසියට ලැබෙයි. IBM වැඩ සටහන, පොලිසියට තමන්ට හඹා යාමට අවශ්‍ය  පුද්ගලයන්ගේ සම්බන්ධතා ජාල රූප සටහන් වලට නැගීම පහසු කරවන ප්‍රබල මෙවලමකි.

මීට අමතරව ජංගම දුරකථන පණිවිඩ සහ ඊමේල් රහසේ කියවිය හැකි යන්ත්‍ර දෙකක්ද  ඕස්ට්‍රේලියානු පොලිසිය ශ්‍රී ලංකාවේ රහස් පොලිසියට ලබා දී තිබේ.

සුදු වෑන් රථයක්

1994 ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් පදවිය දැරූ බෲස් හේග් ABC වැඩ සටහනට එක්වෙමින් ප්‍රකාශ කළේ ආණ්ඩුවේ විරුද්ධවාදීන් දඩයම් කිරීමට මෙම උපකරණ යොදා ගත හැකි බව ය.

"පාරේ ගමන් ගන්නා අය පැහැරගෙන මුලස්ථානයට රැගෙන ගොස්, ප්‍රශ්න කර, වද දී බොහෝ අවස්ථාවලදී විනාශ කර දමන්නට," මේ උපකරණ යොදා ගන්නට ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

සුදු වෑන් රථයක්ද 2011 දී ශ්‍රී ලංකාවේ පොලිසියට ලබා දී ඇති බව ABC මාධ්‍යවේදියා හෙළි කරගෙන තිබේ. පුද්ගලයන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කරන්නට ශ්‍රී ලංකාවේ සුදු වෑන් යොදාගැනීම ගැන ලෝකයම දන්නා බව හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පෙන්නා දුන්නේය.

කොළඹ අපරාධ පරීක්ෂණ මුලස්ථානයේ කාර්යාල හතරක්වත් අලුත් වැඩියා කිරීම හෝ ඉදි කිරීමට ඕස්ට්‍රේලියානු පොලිසිය දායක වී ඇති බව ද හෙළි වී තිබේ.

ශ්‍රී ලංකාවේ පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන වධ දීම තවමත් කෙරෙමින් පවතින කටයුත්තක් බව Freedom From Torture (FFT) මානව හිමිකම් සංවිධානයේ ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂිකා සෝනියා ස්කෙට්ස් ABC වැඩ සටහනට ප්‍රකාශ කළාය.

ABC හෙළිදරව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය මෙතෙක්  ප්‍රතිචාර දක්වා නොමැත.☐

© JDS