'අතුරුදහන්වූවන් ගැන 'යහපාලන' මඟ රාජපක්ෂ පිළිවෙතමද?" - විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයය

ත්‍යය සහ යුක්තිය සඳහා වන ස්වාධීන සහ විශ්වසනීය යාන්ත්‍රණයක් ඇතිකිරීම පමා කිරීම සඳහා රාජපක්ෂ පාලනය ක්‍රියාවේ යෙදවූ උපාය මාර්ගයම වර්තමාන ආණ්ඩුවත් අනුගමනය කරන්නේදැයි ශ්‍රී ලංකාවේ ​සිවිල් සමාජ සංවිධානයක් සැක පහ​ළ කරයි.

අතුරුදහන් වුවන් පිලිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපතිවරයාට ලිපියක් ලියන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසා ඇත්තේ සත්‍යය සොයා ගැනීම, යුක්තිය ඉටුකිරීම සහ වන්දි ලබාදීම සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන රජය අවංක අභිප්‍රායයක් පල කරන්නේද යන්න ප්‍රශ්නයක් බවයි.

හමුදා ප්‍රධානීන්ගේ රහසිගත සාක්‍ෂි

යුද සමයේත්, ඉන් අනතුරුවත් මානව හිමිකම් උල්ලංඝන කිරීමේ චෝදනා වලට ලක්වී සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානීන් ගේ සාක්‍ෂි රහසිගතව ලබා ගැනීමට කොමිසම විධි විධාන යොදා තිබීමද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විවේචනයට ලක්වී තිබේ. හමුදා මාණ්ඩලික ප්‍රධානී ජගත් ඩයස්​ගෙන්​ සහ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් මේ වන විටත් කරුණු විමසා ඇති බව පවසන එම සංවිධානය​, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙරලා ශ්‍රී ලංකාවට පැමිණි පසු ​ඔහු සමගත් සාකච්ඡා කිරීම​ට​කොමිස​ම සැලසුම්කර ඇති බව ජනමාධ්‍ය මගින් තමනට දැන ගන්නට ලැබී ඇතැයි කියා සිටියි. කොමිසමට රහසිගතව සාක්කි දීම සඳහා හමුදා නිලධාරීන්ට සලසා දුන් අවස්ථාව වින්දිතයන්ට​ හිමි නොවූයෙන් ඔවුන්ට ආරක්ෂක ගැටළු වලට මුහුණ දීමට සිදුවූ බව එම සංවිධානය පෙන්වා දෙයි.

2013 සිට විමර්ශන කටයුතු ආරම්භ කළ හිටපු ශ්‍රේෂ්​ඨාධිකරණ විනිශ්චයකාර මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම විසින් මේ වසරේ අප්‍රේල් මැදදී අතුරු වාර්තාවක් ජනාධිපතිවරයාට භාර දී තිබේ. කෙසේ වෙතත්, එය ප්‍රසිද්ධියට පත් කොට නොමැත. එය ප්‍රසිද්ධියට පත් නොකිරීම පාරදෘශ්‍ය භාවයෙන් තොරවීමක් බව  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු තම ලිපියේ සඳහන් කරයි. අතුරු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම මගින් කොමිසම අත්කොට ගෙන ඇති ප්‍රගතිය ගැනත්,  කිසියම් හෝ පරීක්‍ෂණ ආරම්භ කර ඇතිනම් ඒ පිළිබඳවත්, අනාගත සැලසුම් සම්බන්ධ​යෙනුත් අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව උදාව​න්නට තිබූ​ බව ඔහු පවසා තිබේ. වාර්තාව ප්‍රසිද්ධියට පත් කොට එහි එන කරුණු පිළිබඳව ආණ්ඩුවේ ආයතන, පීඩාවට පත් වුවන්, ඥාතීන් සහ පුරවැසි සමාජය සමග සංවාදයක් ආරම්භ කරන ලෙසද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ​මෙම ලිපියෙන් ​වැඩි දුරටත් ඉල්ලා සිටියි.

පැමිණිලි 20,000කින් 7000ක්වත් විමර්ශනය කර නෑ

1990 ජුනි 10 වැනිදා සිට 2009 මැයි 19 වැනිදා දක්වා අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිසමට ලැබී ඇති විසි දහසකට ආසන්න පැමිණිලි අතරින් මාස විස්ස​ කට අධික කාලයක් තුළදී විමර්ශනය කොට ඇත්තේ පැමිණිලි හත් දහසකටත් අඩු සංඛ්‍යාවකි. පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව,නීතිපති මගින් හෝ ස්වාධීන පරීක්‍ෂණ මණ්ඩලයක් මගින් හෝ විමර්ශන සිදුකොට පැමිණෙන අවසාන නිගමන ඥාතීන්ට දැනුම් දෙන බව කොමිසම පවසයි. එසේ වෙතත්, මේ දක්වා ඥාතීන් වෙත දැනුම් දෙන ලද එවැනි නිගමනයක් පිළිබඳ කිසිදු තොරතුරක් කොමිසම විසින් ප්‍රකාශයට පත් කොට නැත.☐

© JDS