මැද පෙරදිග සිට ආ තවත් දෙමළ ජාතිකයෙක් කටුනායක දී අත් අඩංගුවට

මැද පෙරදිග  රැකියාවක නිරතව සිට යළි  දිවයිනට පැමිණි අම්පාරේ  පදිංචි තවත් දෙමළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිසිය හා හමුදා බුද්ධි අංශ මැදිහත්ව සෙනසුරාදා (30) අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගනු ලැබූ තැනැත්තා අම්පාර කාරතිව් 12වැනි වසමේ පදිංචි 39 හැවිරිදි  එක් දරු පියෙක් වන අතර 2006 වසරේදී  ඩුබායි හි රැකියාවකට ගොස්  2011 යළි දිවයිනට පැමිණ ඇත්තේ සිය සේවා කොන්ත්‍රාත්තුව අවසන් වීමෙන් පසුව ය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී  යළිත් ඔහු ඩුබායි හි රැකියාවක් සඳහා පිටව ගොස් තිබේ.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

2004 කරුණා අම්මාන් ඇතුළු පිරිසක් දෙමළ විමුක්ති කොටි සංවිධානයෙන් බිඳී යාමෙන් පසු නැගෙනහිර පළාතේ ඇතිවූ අරාජික තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග රැකියාවක් සඳහා පිටත්ව ඇති ඔහු මාස කිහිපයක් සෞදි අරාබියේ රැකියාවක නිරත වීමෙන් පසු පෙරළා පැමිණ ඇත්තේ රැකියා කොන්ත්‍රාත්තුව පිළිබඳ සැහීමකට පත් නොවූ බැවිනි. අනතුරුව 2005 වසරේදී  යළිත් විදේශ ගතවීමට කොළඹ පැමිණි විට අත්අඩංගුවට ගෙන කුප්‍රකට හතර වැනි තට්ටුවේ රඳවාගෙන ප්‍රශ්න කර ඇත්තේ දෙමළ විමුක්ති කොටි සංවිධානය සමග ඇති ඔහුගේ සම්බන්ධතාවයන් පිළිබඳවයි. අදාළ විමර්ශනයන්ගෙන් අනතුරුව නිදහස් කොට ඇති ඔහුට, අම්පාරේ ස්ථානගත හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සහ පොලිසියේ හිරිහැරවලට මුහුණ දීමට සිදු වීම නිසාම  2006 වසරේදී  යළිත් ඩුබායි හි රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබේ.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් කල්මුණේ මානව හිමිකම් කොමිසම් කාර්යාලය වෙත HRC / KL 88 /2015 යටතේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

දහසයක් අත් අඩංගුවට

නව ආණ්ඩුව බලයට පත් වූ පසු විදේශගත දෙමළ ජනයාට පෙරළා මව්බිමට පැමිණෙන ලෙස විවෘත ආරාධනයක් කළද, ජනවාරි මාසයේ සිට මේ දක්වා කටුනායක ගුවන් තොටුපොළේදී අවම වශයෙන් දෙමළ ජාතිකයන් 16 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මීට පෙර අත් අඩංගුවට පත් බොහෝ දෙනාද මේ ආකාරයෙන්ම මැදපෙරදිග රටවල සේවය කරමින් සිටියදී නිවාඩුවට සිය නිවෙස් කරා යළි පැමිණියවුන් වෙති. ඊට අමතරව දේශපාලන රැකවරණ ඉල්ලා යොමු කළ අයැදුම් පත් ප්‍රතික්‍ෂේප වීම නිසා යළි ශ්‍රී ලංකාවට පිටත් කළ දෙමළ ජාතිකයන් කිහිප දෙනෙකුද ගුවන් තොටුපොළේදී ආරක්‍ෂක අංශ භාරයට ගෙන ඇත. ඩුබායි, කුවේට්, ඕමාන් , ඉතාලිය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව හා ප්‍රංශය වැනි රටවල සිට පැමිණි පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.☐

© JDS


සබැඳි පුවත්:

25.04.2015 - 'මැතිවරණය නිමාවන තෙක් ලංකාවට එන්න එපා' - දෙමළ සන්ධාන මන්ත්‍රීගෙන් ඉල්ලීමක්
04.03.2015 - දෙමළ මව සහ අට හැවිරිදි දියණිය ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
06.02.2015 - නිදහස් දාට පසුදාත් දෙමළ තරුණයෙක් ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට
05.02.2015 - නිදහස් දිනයට පෙර දා දෙමළ තරුණයෙකු ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට