'ආසියානු ආශ්චර්යයේ දිනකට අතවර පහක්' - ලිංගික හිංසයනට එරෙහිව විරෝධතා

ස්ත්‍රීන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩ පවත්වනු පිණිස විධිමත් පියවර ගන්නා ලෙස බල කරමින් සඳුදා (01) උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික් 11ක විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුණි.  යාපනයේදී අතවර කොට මරා දැමූ විත්‍යා සිවලෝගනාදන්ගේ මරණය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අප්‍රමාදව ක්‍රියාවට නංවන ලෙස ද ඉල්ලා සිටි විරෝධතාව කැඳවා තිබුණේ උතුරු නැගෙනහිර ස්ත්‍රී සංවිධාන එකමුතුව විසිනි.

වවුනියාව, මුලතිවු, කිලිනොච්චිය, මන්නාරම, මඩකළපුව, අඩ්ඩාලචේනෛ, අක්කරෛපත්තු, පාලවිය ඇතුළු ප්‍රදේශ ගණනාවකම උද්ඝෝෂණ පැවැති අතර කොළඹ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට ද රැස් වී සිටි විවිධ ජාතීන්ට අයත් විරෝධතාකරු‍වෝ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධයක නිරත වූහ. ස්ත්‍රීන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චූදිතයන්ට ඇප හා අත් හිට වූ සිර දඬුවම් ලබාදීමෙන් වළකින ලෙසත්, 2009 යුද්ධය අවසානයේදී අතවර කර මරා දුමූ ඉසෛප්‍රියාට යුක්තිය ඉටු කරන ලෙසත්, 2012දී අකුරැස්සේ 13 හැවිරිදි පාසැල් දැරියක් විසි දෙදෙනෙකු විසින් සමූහ අතවරයට ලක්කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග නොපමාව නිමා කරන ලෙසත් ඉල්ලා සිටි උද්ඝෝෂකයෝ 'දිනකට ලිංගික අතවර කිරීම පහක් සිදුවන ආසියාවේ ආශ්චර්ය මෙයදැයි' දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කළ හ.

2013 සිට විරෝධතා

උද්ඝෝෂණය සම්බන්ධයෙන් JDS වෙත අදහස් පළ කළ උතුරු - නැගෙනහිර ස්ත්‍රී සංවිධාන එකමුතුවේ ක්‍රියාකාරිනියක වූ ශ්‍රී ‍දේවී ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශ ගණනාවක එකම දිනයේ කැඳවන ලද විරෝධතාවය 2013දී තම සංවිධාන එකමුතුව විසින් ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට බල කරනු පිණිස දියත් කරන ලද ව්‍යාපාරය පෙරට ගෙනයාමක් බවයි.

"මෙම විරෝධතාවය හදිසියේ සංවිධානය කරන ලද එකක් නෙවෙයි. ඒ වගේම මෙහි අරමුණ එක් අපරාධයක් සම්බන්ධයෙන් පමණක් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම නොවෙයි. මීට වසර දෙකකට කලින් මේ ව්‍යාපාරය දියත් කරන්න අපි ක්‍රියාකළේ පසුගිය වසර ගණනාව තුළ ස්ත්‍රීන්ට සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසායි. අද දවසේ විරෝධතාවයෙන් අපි ඉල්ලා සිටියේ, දිවයින පුරාම සිදුවන මේ හිංසන ක්‍රියා වහාම නැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ක්‍රියාවට නංවන ලෙසයි" ඇය ප්‍රකාශ කළා ය.

ඔත්තුකරුවෝ 

මේ අතර වවුනියාව නගරයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරයකට සහභාගීවූවන් පිළිබඳ තොරතුරු රැස්කීරීම සඳහා රජයේ ඔත්තු සේවා සාමාජිකයන් විශාල පිරිසක් යොදවා තිබූ බව සංවිධායකයෝ පවසති. උදෑසන සිට පැවති  සාමකාමී විරෝධතාවට ප්‍රදේශයේ මව්වරු හා ආගමික පූජක පිරිස් 250කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටි අතර සහභාගී වූවන්ගේ ඡායාරූප ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු ඔත්තු සේවා නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබිණැයි නම හෙළි කිරීමෙන් වැළකී සිටි සංවිධායකයෙකු කියා සිටියේය.

'උද්ඝෝෂණයට විශාල වශයෙන් සහභාගී වූයේ කාන්තාවන් සහ පූජක පිරිස්. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණේ ස්ත්‍රීන්ට සහ දරුවන්ට එරෙහිව වර්ධනය වන ප්‍රචණ්ඩ ක්‍රියා අවසාන කිරීම ගතයුතු ක්‍රියා මාර්ග නොපමාව ගන්නා ලෙසයි. නමුත් එම ඉල්ලීම ඉදරිපත් කළ කාන්තාවන්ගේ සහ පැවිදි සෝයුරියන්ගේ ඡායාරූප ගන්න ආරක්‍ෂක අංශවලට අයත් ඔත්තු සේවා නිලධාරීන් යෙදවීම මගින් සංකේතවත් කරන්නේම ප්‍රචණ්ඩත්වයයි" ඔහු කීය.☐

© JDS