'රජයේ හමුදාවන්ට භාර වූ 110 දෙනෙකුට සිදු වූයේ කුමක්දැයි හෙළි කරන්න' - ITJP


ය වසරකට පෙර අවි ගැටුම් නිමා වීමත් සමගම ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට භාර වූ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ නායකයන් සිය ගණනකගේ ඉරණම කුමක් වී දැයි හෙළි කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායමක් රජයෙන් ඉල්ලා සිටියි.

දකුණු අප්‍රිකානු මානව හිමිකම් පදනමේ විධායක අධ්‍යක්‍ෂිකාව හා සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ අන්තර්ජාතික විශාරදවරියක වන යස්මින් සූකාගේ අත්සනින් සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් නිකුත් කර ඇති නිවේදනය එසේ භාර වූ බවට සාක්‍ෂි ඇති විමුක්ති කොටි සංවිධානයේ මුල් පෙළේ සාමාජිකයන් 110 දෙනෙකුගේ සවිස්තරාත්මක නාම ලේඛනයක් ද ජන මාධ්‍යයට නිකුත් කර තිබේ. වන්නි යුද්ධයේ අවසාන මිනිස් සංහාරය දෙමළ ජනයා විසින් සමරනු ලබන මැයි 18 වැනිදා දාතමින් යුතු නිවේදනය මගින් ඉල්ලා ඇත්තේ එසේ භාර වූවන් තව දුරටත් රඳවා සිටින්නේ නම් අදාළ රැඳවුම් ස්ථාන ඔවුන්ගේ ඥාතීන්ට අනාවරණය කරන ලෙසයි. නොඑසේනම්, 'පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පිළිගත හැකි විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වරදකරුවන්වන්නවුන්ට නීතිය මගින් දඬුවම් ලබා දෙන ලෙසත්" එමගින් වැඩි දුරටත් ඉල්ලා ඇත.

ඇසින් දුටු සාක්‍ෂි

මෙම නාම ලේඛනය සකස් කොට ඇත්තේ ඉකුත් සය වසර තුළ ජීවිතාරක්‍ෂාව පතා ලංකාවෙන් පලා ගිය ඇසින් දුටු සාක්‍ෂිකරුවන් විසින් සම්පාදනය කරන ලද තොරතුරු සම්පිණ්ඩනය  කිරීමෙනි.

ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ නායකත්වය උසුළන යස්මින් සූකා, වර්ණ‍භේදවාදී සුදු පාලනය අවසන් කිරීමෙන් පසු එරට රජය විසින් පත් කරන ලද සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ කොමසාරිස්වරියක් වශයෙන් 1995 දී නම් කරන ලද්දේ දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසිනි. 2010දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට උපදෙස් සැපයීම පිණිස පත් කරන ලද ත්‍රි පුද්ගල කමිටු සාමාජිකාවක් වශයෙන්ද සූකා කටයුතු කළා ය.

අදළා සම්පූර්ණ නිවේදනය පහතින් පළ වේ. (භාරවූවන්ගේ නාම ලේඛනය)


2015ක් වූ මැයි මස 18 වැනි දින

ශ්‍රී ලංකාව: අදට සය වසරකට පෙර අත් අඩංගුවේදී සිදු වූ අතුරුදහන් වීම්

2009 මැයි මස 18 වැනි දින විමුක්ති කොටි සංවිධානයේ සිවිල් පරිපාලනයේ නායකයන් සහ මිලිටරි නායකයන් සියයකට වැඩි පිරිසක්  ශ්‍රී ලංකා හමුදාව වෙත යටත් වීම සිදු වූ ආකාරය පිළිබඳ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටිති. මෙම භාරවූවන් ගෙන් විශාල සංඛ්‍යාවක් පසුව අතුරුදහන් වූ අතර ඇසින් දුටු සාක්‍ෂිවලට අනුව ඔවුහු අවසන්වරට දකින විට ශ්‍රී ලංකා හමුදා අඩස්සියෙහි සිට ඇත.

මැයි 18 වැනි දින යටත් වූවන් දැඩි ලෙස පරීක්‍ෂා කිරීමේ ක්‍රියාදාමයකට යටත් කර ශ්‍රී ලංකා හමුදාව විසින් පාලනය කළ වඩ්ඩුවක්කාල් පාලමට දකුණින් පිහිටි කටුකම්බිවලින් වටකරන ලද පෙදෙසක රඳවා තබාගෙන ඇත. බොහෝ දෙනෙකු හමුදාව වෙත යටත් වූයේ වයෝවෘද්ධ කතෝලික පියනමක වූ පූජ්‍ය ෆ්‍රැන්සිස් ජෝසෆ් සමගය. ඔහු සතුව හමුදාව වෙත භාරදීම සඳහා යටත්වන අයගේ නාම ලේඛනයක් ද විය. බොහෝ සාක්කිකරුවන් දැක ඇති අන්දමට මෙම සිරකරුවන් සහ සමහර අවස්ථාවලදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා බස්වලට පටවා හමුදාව විසින් ඉවතට ගෙන ගොස් තිබේ. ඔවුන් සහ ෆ්‍රැන්සිස් පියනම  හමුදාභාරයට පත්වීමෙන් පසු කිසිවෙකු විසින් දැක නැත.

සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය - ශ්‍රී ලංකාව (ITJP) විසින් දිගටම හමුදා භාරයේදී අතුරුදන් වූ මෙම පිරිස පිළිබඳව අඛණ්ඩව විමර්ශනය කළ අතර ඒ අනුව පහත දැක්වෙන නාමලේඛනය සකස්කරන ලදී.

2009 හමුදාව වෙත භාරවූන්ගේ නම් 110ක් ඇතුළත් මෙම ලේඛනය සකසා ඇත්තේ භාරවීමේ සිදුවී ඇසින් දුටු,  ශ්‍රී ලංකාවෙන් පලාගොස් දැනට විදෙස්ගතව සිටින පුද්ගලයන්ගේ සාක්‍ෂි අනුව ය. මෙම ප්‍රවෘත්ති නිවේදනය මගින් සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් අපේක්ෂා කරනුයේ  2009 මැයි 18 වැනි දින ශ්‍රී ලංකා හමුදාවට යටත් වූ ඔවුන්ගේ ආදරණීයයන් පිළිබඳ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් විදේශගතව සිටින බව දැනුම් දීම ය. මෙම සාක්‍ෂිකරුවන් විදේශගතව සිටිනුයේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එරෙහිව පලිගැනීම් සිදුවෙතැයි බියෙන් ආරක්ෂා වීම සඳහා ය.

මෙම ලැයිස්තුවේ සිටින සමහර සිරකරුවන් වසර ගණනාවකට පසුව අපගේ සාක්‍ෂිකරුවන් නොදැන නිදහස් කර තිබෙන්නට යම් ඉඩක් තිබෙන බව , සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය - ශ්‍රී ලංකාව  (ITJP)  දැනුවත්ව සිටියි.

එමෙන්ම 2009 මැයි මස 18 වැනි දින භාර වූ නමුත් මෙම නාමලේඛනයේ සඳහන්ව නැති වෙනත් අය පිළිබඳව  ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් සාක්‍ෂිකරුවන් සහ සිරකරුවන්ගේ  පවුල්වල සාමාජිකයන් විසින් පැමිණිලි කර ඇති බව ද අපි දනිමු. අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් තම ආදරණීයයන්ගේ ඉරණම පිලිබඳව 2009 සිට 2015 දක්වා දිගටම ශ්‍රී ලංකා රජයෙන් පිළිතුරු අපේක්ෂා කරමින් සිටින  බව ඉතා පැහැදිලි කරුණකි. ලොව පුරා සිටින අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්  අවිනිශ්චිතභාවයේ වේදනාව සහ සංතාපය තුළ ගිලී සිටින ඔවුන්ටද තම ආදරණීයයන් ජීවතුන් අතර ද, එසේත් නැතහොත් මියගොස් ඇතිදැයි  දැනගැනීමට අවශ්‍ය ය. යුදබිමේ දී වාර්තාගත නොවූ මරණයකට පත්ව වැළපීමට මළසිරුරක් හෝ අවසන් කටයුතු නොමැතිව  මිය ගිය අයගේ පවුල්වල සාමාජිකයන් මෙන් නොව, මෙම පවුල්වල සාමාජිකයන් වැළපීමට අවසන් කටයුතු සිදු කිරීමට අසමත් ය.  ඒ ඔවුන්ගේ ආදරණීයයන් අවසන් වරට දකින විට සිටියේ ශ්‍රී ලංකා බලධාරීන්ගේ භාරයේ වන බැවිනි.

භාරවීමෙන් පසුව සිදු වූ අතුරුන් වීම් ගැන විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට බලධාරීන්ගේ පැත්තෙන් සිදු වූ අසමත්කම විශාල අයුක්තියක් පමණක් නොව, පුද්ගල ඛේදවාචකයක්ද වෙයි.

දණ්ඩ මුක්තිය පිළිබඳ ජ්‍යෙන-ඔරෙන්ට්ලිෂර් මූලධර්මය යටතේ ඔවුන්ගේ ආදරණීයයන්ගේ ඉරණම සහ ඔවුන් කොහි වෙත්දැයි දැන ගැනීමට කිසිවෙකුට උදුරාගත නොහැකි අයිතිවාසිකමක් හිමි වේ. එමෙන්ම  ඊට අනුරූපව අතුරුදන්වීම් පිළිබඳ විධිමත් පරීක්‍ෂණය ආරම්භ කිරීමට සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීමට කටයුතු කිරීම සඳහා රාජ්‍යය වෙත පැවරෙන වගකීමක් ද තිබේ.

බලහත්කාරී අතුරුදන්වීම්, සමුච්ඡිත මූලධර්මයන් තුනක් මගින් අර්ථකතනය වේ.

1. පුද්ගලයාගේ කැමැත්තට එරෙහිව ඔහුගේ පුද්ගල නිදහස අහිමි කිරීම.

2. රාජ්‍ය බලධාරීන්ගේ මැදිහත්වීම්, අවම තරමින් සහායකයන් ලෙස වුව.

3. පුද්ගල නිදහස අහිමිකරනු ලැබූ බව පිළිගැනීම ප්‍රතික්‍ෂේප කිරීම සහ අතුරුදන්වූ පුද්ගලයාගේ ඉරණම හෝ සිටින තැන පිළිබඳව වසන් කිරීම

බලහත්කාරී අතුරුදන්වීම්  කිරීම්වල ස්වභාවයේ දක්නට ඇති  එක් මූලික ලක්ෂණයක් නම් එම ක්‍රියාව විසින් පුද්ගලයාට නීතියේ රැකවරණය අහිමි කරනු ලැබීමයි. මෙම ස්වභාවය විසින්  (සිදුවීම් වල යථාර්ථය විසින් මෙය තහවුරු කර ඇත)  පුද්ගලයාට හිමි සියලු අයිතිවාසිකම් ඔහු විසින් භුක්ති විඳීම අත්හිටුවන ලබන අතර  ඔහුව සම්පූර්ණ අනාරක්‍ෂිත තත්ත්වයකට ඇද හෙළනු ලබයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සම්මේලනය විසින් බලහත්කාරී අතුරුදන් කිරීම්,  “ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙසත්,  මනුෂ්‍ය අයිතීන් සහ මූලික නිදහස බරපතල සහ කෘෘර ලෙස උල්ලංඝණය කිරීමක් ලෙසත් ,...... අන්තර්ජාතික නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් ලෙසත් අඛණ්ඩව ප්‍රකාශ කොට ඇත. මෙයට අමතරව  මානව අයිතීන් සුරැකීම පිළිබඳ අන්තර්ජාතික නීති සංග්‍රහය විසින් බලහත්කාරී අතුරුදහන්  කිරීම් බරතල ලෙස මිනිස් අයිතීන් උල්ලංඝණයක් ලෙස දක්වයි.

අන්තර් ජාතික නීති සංග්‍රහය සහ නෛතික න්‍යායන් දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදි,  බලහත්කාරී අතුරුදන් කිරීම්  විසින් යමෙකුට  නීතියේ රැකවරණය ලැබීමට ඇති  අයිතියද, යමෙකුගේ නිදහස නීති විරෝධී ලෙස උල්ලංඝණයෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය ද, සෑම මනුෂ්‍යයෙකුටම  නෛතික පුද්ගලභාවයට ඇති හිමිකම පිළිගැනීම ද , වධබන්ධනය හෝ වෙනත් කෘෘර සහ අමානුෂික සැළකිලි හෝ දඬුවම්වලින් මිදී සිටීමට ඇති අයිතිය ද  උල්ලංඝණය වේ.

වසර 06කට පෙර අද වැනි දිනක ශ්‍රී ලංකාරජයේ හමුදාවන්ට භාරවීමෙන් පසුව  පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පිළිගත හැකි විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වරදකරුවන්වන්නවුන්ට නීතිය මගින් දඬුවම් ලබා දෙන ලෙසත් අපි ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට තම ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටිනා තැන පිළිබඳව දැනගැනීමට අයිතියක් තිබේ.

බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබන ලෙස ද අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. එමෙන් ම බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡාවෙන් තොරව අතුරුදහන් වූවන් පිළිබඳ ක්‍රියාකාරි කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙනු ඇති බවට වන ප්‍රවෘත්තිය අපි සාදරයෙන් පිළිගනිමු. එමෙන්ම ඔවුන් සමග සම්පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද අතුරුදහන්වූවන්ගේ පවුල්වලට එරෙහිව පලිගැනීම් සිදු නොවන බවට සහතික වීම මගින්  ඔවුන්ට අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් කරා යාමට බාධාවකින් තොරව අවකාශ සළසා දෙන ලෙස ද අපි වැඩි දුරටත් ඉල්ලා සිටිමු.

යස්මින් සූකා

සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය - ශ්‍රී ලංකාව☐

© JDS