රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ මළවුන් සැමරීම ගැන අලුත් ආණ්ඩුවෙන් පරීක්‍ෂණ

දෙමළ අරගලයේදී දිවිදුන් සටන්කරුවන් සැමරෙන මහවිරු දිනයේදී සිය නිවසේ පහන් දැල්වීම ගැන ප්‍රකාශයක් ගැනීම සඳහා මුලතිවු පොලිස් මූලස්ථානයට වාර්තා කරන මෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට පොලිසිය දැනුම් දී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන්ට සඳුදා (04) භාරදෙන ලද පොලිස් කැඳවුමෙහි දක්වා ඇත්තේ, ඉකුත් වසරේ නොවැම්බර් 27 වැනිදා සිය නිවසේ දී පහන් දල්වා මහ විරුවන් සිහිකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙන බවයි.

සිංහල භාෂාවෙන් ලියා ඇති පොලිස් පණිවුඩය රැගෙන පළාත් සභා මන්ත්‍රී රවිකරන්ගේ නිවසට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කොළඹින් ලැබුණු උපදෙස් අනුව ක්‍රියාත්මක මේ විමර්ෂණයට අදාළ කට උත්තරයක් ලබාදීමට අඟහරුවාදා දිනයේදී (05) මුලතිව් පොලිසියට වාර්තා කරන ලෙස දන්වා තිබේ.

'මළවුන් සැමරීම අයිතියක්'

නියමිත පරිදි තමන් පොලිසියට වාර්තා කළ බවත්, අදාළ දිනයේ මළවුන් සමරා තමන් පහන් දැල් වූ බවපොලිස් නිලධාරීන්ට කියා සිටි බවත් රවීකරන් මන්ත්‍රීවරයා JDS වෙත ප්‍රකාශ කළේය.

'මම පහන් දැල්වුවේ ප්‍රසිද්ධියේ. යුද්ධයෙන් මියගිය මගේ සෝයුරු - සෝයුරියන්, ඥාතීන් සමරන්න මට අයිතියක් තියෙනවා. ඒ බව මම පොලිසියට ලබා දුන් මගේ කට උත්තරයේ පැහැදිලිවම කිව්වා. පහන් දල්වන වෙලාවේ ගත් ඡායාරූපවල ඉන්නේ මම බවත් මම පිළිගත්තා. ඒ ඡායාරූප මාධ්‍යවල පළ වුණු ඒවායි. ඒ නිසා ඒ ගැන සඟවන්න දෙයක් මට තිබුණේ නැහැ. මළවුන් වෙනුවෙන් පහනක් දැල්වීම පවා තහනම් කළ රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් ඉවත් කරන්න දෙමළ ජනයා ලබා දුන්න ඡන්දයෙන් මැතිවරණ ජයගත්ත ආණ්ඩුවක්, එහෙම පහන් දල්වපු අයට ‍එරෙහිව පොලිස් පරීක්‍ෂණ ආරම්භ කිරීම කණගාටුවට කරුණක්" යැයි  ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මුල්ලිවයික්කාල් සමරුව

ඉකුත් වසරේ නොවැම්බර් 27 වැනිදා සිදුකළ පහන් දැල්වීමක් ගැන හය මසකට පසු පොලිස් පරීක්‍ෂණ ඇරඹීම පිටුපස ඇත්තේ එළඹෙන මැයි 18 වැනිදාට යෙදෙන මුල්ලිවයික්කාල් සැමරුම්වල නිරතවීමෙන් ජනයා වළක්වා ඔවුන් බිය ගැන්වීම විය හැකි යැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය‍.

දෙමළ සටන්කරුවන් ඇතුළු යුද්ධයේදී මියගියවුන් සැමරීම වෙනුවෙන් ඉකුත් සය වසර තුළ කිසිදු ආකාරයේ වැඩසටහනක් සංවිධානය කිරීමට කලින් පැවැති රාජපක්ෂ පාලනය මගින් ඉඩ ප්‍රස්ථා ලබා නොදුන්නේය. ආරක්‍ෂක හමුදා හා පොලිසිය යොදවා එවැනි සැමරුම් තහනම් කිරීමට රජය කටයුතු කරනු ලැබූවද උතුරු නැගෙනහිර පළාත්වල බොහෝ දෙනා තමන්ට හැකි අයුරින් පුද්ගලික මට්ටමින් හෝ පහනක් දල්වමින් යුද්ධයේදී මියගියවුන් සැමරීමට ක්‍රියා කළහ.☐

© JDS