'මැතිවරණය නිමාවන තෙක් ලංකාවට එන්න එපා' - දෙමළ සන්ධාන මන්ත්‍රීගෙන් ඉල්ලීමක්

හ මැතිවරණයකින් පසු රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවන තෙක්  ශ්‍රී ලංකාවට පැමිණීමෙන් තාවකාලිකව වළකින ලෙස දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙක් විදේශගත දෙමළ ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි. එම සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේන්දිරන් මෙසේ ඉල්ලා සිටියේ  මැද පෙරදිග සිට පැමිණි දෙමළ ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී දී පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ය.

සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටියදී නිවාඩුවකට යළි ශ්‍රී ලංකාවට පැමිණි මඩකලපුවේ කොක්අඩිචෝලෛ පදිංචි එක් දරු පියෙකු වන රගුපති කනකසුරියම් ඉකුත් බදාදා (22) කටුනායක දී අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකය මගිනි. රජයේ බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුව අත් අඩංගුවට ගන්නා ලද ඔහු රඳවා ගෙන ප්‍රශ්න කරනු ලබන බව කොක්අඩිචෝලෛ පොලිසිය මගින් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනුම් දී තිබේ.

මිට පෙර කිහිප වතාවක්ම නිවාඩු සමයන්හි ඔහු කටුනායක ගුවන් තොටුපළ හරහා මැද පෙරදිග හා  ශ්‍රී ලංකාව අතර නිරුපද්‍රිතව ගමන් කර ඇති මුත්  ඔහු අත්අඩංගුවට ගන්නා ලද පළමු අවස්ථාව මෙය බව ඥාතීහු පවසති.

15ක් අත් අඩංගුවට

'යහපාලනයක් පවතී නම් සාමාන්‍ය දෙමළ ජනයා මෙවැනි අත්අඩංගුවට ගැනීම්වලට ලක්වන්නේ කෙසේදැයි' අරියනේන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියි. දේශපාලන හේතු මත විදෙස්ගත වී සිටින දෙමළ ප්‍රජාව හා  මැද පෙරදිග රටවල රැකියා සඳහා ‍ගොස් සිටින හිටපු සටන්කරුවන් ලංකාවට පැමිණීමෙන් වැළකීම මේ මොහොතේ අවශ්‍යතාවයක් බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය. 

නව ආණ්ඩුවේ  දින සියය හමාර වන විට විදේශයන් සිට මෙහි පැමිණි දෙමළ ජාතිකයන් 15 දෙනෙකුට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපළේදී අත් අඩංගුවට ගෙන ඇත. දේශපාලන රැකවරණ පතා විදේශ රටවලට ගොස් සිය අයදුම්පත් ප්‍රතික්‍ෂේප වීම හේතුවෙන් පිටුවහල් කරනු ලැබූ පුද්ගලයන් ද ඒ අතර වේ.  කුවේට්, ඕමාන්, සෞදි අරාබිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක සිට පෙරළා දිවයිනට පැමිණි පුද්ගලයන් ත්‍රස්ත විමර්ශණ ඒකකය මගින්  මෙසේ අත් අඩංගුවට ගනු ලැබුණි.☐

© JDS


සබැඳි පුවත්:

04.03.2015 - දෙමළ මව සහ අට හැවිරිදි දියණිය ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
06.02.2015 - නිදහස් දාට පසුදාත් දෙමළ තරුණයෙක් ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට
05.02.2015 - නිදහස් දිනයට පෙර දා දෙමළ තරුණයෙකු ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට