ශ්‍රී ලංකාව ‘සම්මත නීති කඩමින් මරණ දඬුවම පනවන රටක්’

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලකාව මරණීය දණ්ඩනය පනවන බව මුල් පෙලේ මානව හිමිකම් සංවිධානයක් හෙළි කොට තිබේ. 2014 වසරේ ලොව පුරා මරණ දඬුවම් පිලිබඳ පිටු 76ක වාර්තාවක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ බාල වයස්කරුවන්ට මෙන්ම ‘මහත් බරපතල අපරාධ’ ගණයට නොවැටෙන වැරදි කළ අයටත් ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය පමුණුවා ඇති බවයි.

ඇම්නස්ටි ජාත්‍යන්තරයේ වාර්තාව සඳහා ලැබී ඇති සංඛ්‍යාලේඛන අනුව මරණ දඬුවම පනවන නරකම ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාවට හිමිවන්නේ සිව් වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනයට යටත් කොට සිටින සංඛ්‍යාව 61 දෙනකුට අධික බව වාර්තාවේ සඳහන් වෙයි. ඉන් දෙදෙනකුම කාන්තාවෝය. ආසියාවේ මුල් තැන ගන්නා රට 231 කට වැඩි දෙනකු ට මරණ දඬුවම පනවා ඇති පාකිස්තානයයි. 142 දෙනකුට වැඩි පිරිසක් මරණයට නියම කොට ඇති බංග්ලාදේශය දෙවැනි තැන ගන්නා අතර තුන් වැනි තැන සිටින්නේ 72 කට වැඩි දෙනකුට මරණීය දඬුවම පනවා තිබෙන වියට්නාමයයි.

බාල දරුවන්ට දඬුවම්

බාල වියේදී සිදුකළ බවට චෝදනා කෙරුණු වරදක් සම්බන්ධයෙන් පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් වගඋත්තරකරුවකුට මරණීය දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ අවස්ථාවක් බව ඇම්නස්ටි වාර්තාව පෙන්වා දෙයි. ත්‍රිකුණාමල මහාධිකරණය පෙබරවාරි හත් වැනිදා තංගරාජා සිවකන්දරාජා හට මරණ දඬුවම පනවා ඇත්තේ ඔහු දොළොස් හැවිරිදි වියේදී මුතුර්හි බෝම්බයක් පුපුරා හය දෙනකු මිය යාම සම්බන්ධයෙනි. දඬුවම ලබා දීමෙන් වසර 24 කට පෙර සිදුවූ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට පත් කෙරුනේ ‘පාපෝච්චාරණයක්’ පදනම් කොටගෙන බව කින්නියාවේ ආලන්කර්නි හි පදිංචි ඔහුගේ ඥාතීන් මාධ්‍යවේදීන්ට පවසා තිබිණි.

බාල වයසේදී සිදු කළ බවට චෝදනා ලබන අපරාධ සම්බන්ධයෙන් 2014 වසරේ මරණ දඬුවම පනවා ඇත්තේ  තවත් රටවල් දෙකක් පමණක් බව ක්ෂමා ජාත්‍යන්තර වාර්තාවේ දැක්වෙයි. ඒ ඉරානය සහ ඊජිප්තුවයි. ඊට පෙර වසරවලදී, ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, නයිජීරියාව, පකිස්තානය, සවුදි අරාබිය හා යේමනය යන රටවල බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය පනවා තිබීම කනස්සල්ලට හේතුවක් බව ඇම්නස්ටිය ප්‍රකාශ කොට ඇත. වයස අවුරුදු දහ අටට අඩු අයට මරණීය දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර නීතියෙන් තහනම් කොට තිබේ. එය දරුවන්ගේ අයිතිය පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමකි.

ඉන්දීයයන්ට මරණයෙන් නිදහස

මේ අතර, ‘මහත් බරපතල අපරාධ’ ගණයට නොවැටෙන වැරදි කළ ඇතැමුන්ට එරෙහිව ශ්‍රී ලංකාව මරණීය දණ්ඩනය පනවා තිබීමත් ජාත්‍යන්තර නීති උල්ලංඝනයක් බව ක්ෂමා ජාත්‍යන්තරය පෙන්වා දී ඇත. මත් ද්‍රව්‍ය ජාවාරම් වල යෙදීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු මරණ දඬුවමට නියමව සිටින බව එම සංවිධානයේ වාර්තාවේ සඳහන් වෙයි. කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා යාපනය ගුරුනගර් පදිංචිකරුවන් වන කමල් ක්‍රිස්ටි සහ ඥාණප්‍රගාසන් දුෂාන්තන් ද මණ්ඩතිවු හි ක්‍රිස්තුරාජා හිල්මට්රාජ් ද සමගින් ඉන්දීයයන් පස් දෙනකුට මරණ දඬුවම පනවනු ලැබුණි. එහෙත්, ඉන්දීය අගමැති වරයාගේ මැදිහත් වීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉන්දීය වරදකරුවන් නොවැම්බර් 19 වැනිදා සමාව දී නිදහස් කර යවන ලදී.

‘මරණ දඬුවම අත්‍යාවශ්‍යයි’

හිතාමතා සිදු කළ මනුෂ්‍ය ඝාතන සිදුවී නොමැති මේ වැරදි ‘මහත් බරපතල අපරාධ’ ගණයට අයත් නොවන සේ සැලකෙන බව පවසන ඇම්නස්ටි ජාත්‍යන්තරය ඒ සම්බන්ධයෙන් මරණ දඬුවම පැනවීමෙන් පුරවැසි හා දේශපාලන අයිතීන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (ICCPR) උල්ලංඝනය වන බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඉකුත් ජූලියේ වාර්තා කොට ඇති පරිදි මරණීය දණ්ඩනයට නියමව සිටින මුළු සංඛ්‍යාව 529 කි. ඒ  අතරින් 451 දෙනකු ඊට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කොට තිබේ. කොමිසම රජයට නිර්දේශ කොට ඇත්තේ මරණ දඬුවම අහෝසි කොට දමන ලෙසයි. එහෙත්, ඇම්නස්ටි වාර්තාව නිකුත් වූ දාම අධිකරණ අමාත්‍යවරයා පවසා ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි. ‘රටේ සිදුවන අපරාධ රැල්ල මර්දනය කිරීමට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය,' බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් දෙනම බැහැ දැකීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලාංකික කම්කරු රවින්ද්‍රන් ක්‍රිෂ්ණ පිල්ලෙයි 2014 ජනවාරි 21 වැනිදා ෂාජා මධ්‍යම බන්ධනාගාරයේදී වෙඩි තබා මරා දමන ලද බවත් ඇම්නස්ටි වාර්තාවේ එයි. මඩකලපුවේ කොම්මාතුරයි හි චෙන්ගලාඩි ගම්වාසී  ඔහුගේ ඥාතීන් මරණයෙන් පසු බීබීසීයට පවසා තිබුනේ තම පුත්‍රයා ගලවා දෙන ලෙස රජයට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ ආයාචනා පලක් නොවූ බවයි.☐

© JDS