වසරක් පරිවාස භාරයේ පසු වූ විභූෂිකා නිදහස්

සරකට වැඩි කාලයක්  ළමා  පරිවාස භාරයේ  රඳවා සිටි බාලේන්දිරන් විභූෂිකා කිලිනොච්චිය අධිකරණය මගින් බ්‍රහස්පතින්දා (26) නිදහස් කෙරිණි. ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් ඇගේ මව බාලෙන්දිරන් ජෙයකුමාරි මාර්තු 10 වැනිදා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කෙරුණේ ඇය සිරගත කොට  වසරක් පිරීමට දින කිහිපයක් තිබියදී ය.

ජෙයකුමාරි අත් අඩංගුවට ගැනීමත් සමගම ළමා හා පරිවාස දෙපාර්තමේන්තුවට අයත් කිලිනොච්චියේ මහදේවන් ළමා නිවාස භාරයට යොමු කෙරුණු විභූෂිකා නිදහස් කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය බව පරිවාස නිලධාරිහු පැවසුහ. ඒ අනුව කිළිනොච්චි අධිකරණය වෙත යොමු කළ පළමු ඉල්ලීම පසුගිය සතියේදී නිෂ්ප්‍රභා කිරීම හමුවේ ජෙයකුමාරිගේ නීතිවේදීන් විසින් විභූෂිකා නිදහස් කරන ලෙස ඉල්ලා සඳුදා (23) මෝසමක් ඉදිරිපත් කරන ලදී.
 
එය සළකා බැලු අධිකරණය අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි  විභූෂිකා සියළු චෝදනාවලින් නිදහස් කෙරිණි. මේ වන විට විබුශිකා සිය මව සමග යාපනයේ පදිංචියට ගොස් ඇත.

ඇප කොන්දේසි

2014 මාර්තු 13 වෙනිදා කිලිනොච්චියේදී අත් අඩංගුවට ගනු ලැබූ සිව් දරු වැන්දඹු මවක් වන ජෙයකුමාරිගේ වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනෙක් යුද්ධය පැවති වකවානුවේ ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර ඇයගේ බාල පුතු යුද්ධය අවසානයේ මුල්ලිවයික්කාල්හි දී රජයේ හමුදා වෙත බාරවීමෙන් පසු අතුරුදහන්ව ඇතැයි සැළකේ.

දැඩි ඇප කොන්දේසි යටතේ මාර්තු 10 වැනිදා නිදහස් කරන ලද ජෙයකුමාරිට රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපයට අමතරව රටින් බැහැර වීම තහනම් කරමින් සෑම මසකම අවසන් ඉරිදා පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වාර්තා කළ යුතු බවට ද නියම කෙරිණ.

අදාළ චෝදනා පිළිබඳ වැඩිදුර විභාගය ජුලි 7 වැනිදා තෙක් කල් දැමුණු අතර එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජෙයකුමාරිට නියෝග කරන ලදී.☐

© JDS