සමූහ අතවරයට ලක්ව මිය ගිය දෙමළ දැරිය ගැන පොලිසිය නිශ්ක්‍රීයයි

සුගියදා සමූහ අතවරයට ලක්ව මියගිය බව සැළකෙන පාසල් ශිෂ්‍යාවක වන සෙල්වරාසා සාරණ්‍යාගේ මරණය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු යටපත් කොට, සත්‍යය වසන් කිරීමට පොලීසිය දැඩි උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වේ.

මරණය පිළිබඳ මාධ්‍ය වාර්තා පලවීමත් සමඟ ශිෂ්‍යාව විසූ මන්නාක්කුලම් ග්‍රාමයේ ඇගේ මිත්තනියගේ නිවසට ගොස් ඇති පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇයට අවධාරණයෙන් පවසා ඇත්තේ, සාරණ්‍යාගේ මරණයට හේතුව මානසික ආබාධයක් බව ය. ඒ බැව් මරණ සහතිකයෙන් පවා තහවුරු කර ඇතැයි ද ඔවුහු ඇයට දැනුම් දී ඇත. මෙම නියෝගයට එරෙහිව තවදුරටත් කටයුතු කළහොත්, මිනිපිරියගේ චරිතය ඝාතනය කිරීමේ වරදට මිත්තනිය සිරගත කිරීමට කටයුතු කරන බව ද පොලිස් නිලධාරීහු ඇයට අනතුරු අඟවා තිබේ.

වෛද්‍ය නිගමනය

පොලිස් නිලධාරීන් තර්ජනාත්මකව ඇයට පවසා ඇත්තේ, මිනිපිරිය සමුහ අතවරයකට ලක් වී නැති බවත්, ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් ය. එහෙත් කිලිනොච්චි මූලික රෝහලේ දී සාරණ්‍යාට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා පොලිස් කොස්තාපල්වරයකු ද ඉදිරිපිට ඇයට පවසා ඇත්තේ, මිය ගිය ශිෂ්‍යාවගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව සිදුවී ඇති තුවාලවලින් පෙන්නුම් කැරෙන පරිදි තිදෙනෙකුට නොඅඩු පිරිසක් විසින් ඇය සමුහ අතවරයකට ලක්කොට ඇති බව ය.

වෛද්‍යවරයා සිය කාර්යාලයේ දී මේ බව දැනුම්දුන් අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරියා ද, තමන්ට තර්ජනය කරන්නට පැමිණි පොලිස් කණ්ඩායමේ සිටින බව සාරණ්‍යාගේ මිත්තනිය විසින් හඳුනා ගනු ලැබ ඇත. ඇය ඒ බව කී විට අදාළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ වෛද්‍යවරයා එවැනි ප්‍රකාශයක් නොකළ බව ය. ඒ අනුව මෙම වෛද්‍ය නිගමනය, නිවසට පැමිණි පොලිස් නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව සාරණ්‍යා ශිෂ්‍යාවගේ මිත්තනිය Colombo Mirror වෙබ් අඩවියට ප්‍රකාශ කොට ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මේ පිළිබඳව කනකරායන්කුලම් පොලිස් බලධාරීන්ගෙන් විමසීමක් කර අති අතර එහි දී සාරණ්‍යා සමූහ අතවරයකට ලක්ව ඇති බව තහවුරු වී ඇතැයි පිළිගෙන තිබෙන පොලීසිය පවසා ඇත්තේ, ඇගේ මරණයට අදාළ වෛද්‍ය වාර්තාව අපේක්‍ෂාවෙන් සිටින බව ය. ඇය මියගොස් ඇත්තේ මානසික ආබාධයකින් බව එම වෛද්‍ය වාර්තාව විසින් ද සනාථ කිරීමට ඉඩ ඇතැයි මේ වනවිට ප්‍රදේශවාසීහු සැක පහළ කරති.

මාන්කුලම් රෝහලට

සාරණ්‍යා ශිෂ්‍යාව පසුගිය පෙබරවාරි 16 වැනිදා ඇගේ ඥාතීන් පිරිසක් සමඟින් මන්නාරම බලා ගොස් ඇත්තේ තිරුකේදීස්වරම් කෝවිලේ පැවැති උත්සවයකට සහභාගී වීම සඳහා ය. ආපසු එන ගමනේ දී ඇය සිය මිත්තනියගේ නිවසට නොපැමිණ ඥාතීන්ගේ නිවසේ නතර වී තිබේ. මිත්තනිය ගෙදර නැති අතර ඇය සිය පොත්පත් හා ඇඳුම් ද රැගෙන ගොස් තිබේ. එහෙත් කිසියම් හේතුවක් නිසා දින කිහිපයක්ම පාසල් ගොස් නැති ඇය, පාසල් ක්‍රීඩා උළෙල පැවැත්වෙන දින පාසල් ගොස්, ක්‍රීඩා උළෙලට ද සහභාගී වී තිබේ. එදින ම රාත්‍රී හදිසියේ රෝගී වී ක්ලාන්තව ඇති ඇය මාන්කුලම් රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇගේ ඥාතින් විශ්වාස කර ඇත්තේ සාරණ්‍යාට කිසියම් වයිරසයක් ශරීර ගත වී ඇති බව ය.

ඇගේ රෝගී තත්ත්වය පිළිබඳව මිත්තනිය දැනුවත් කිරීමෙන් අනතුරුව, මිත්තනිය මාන්කුලම් රෝහල බලා ගොස් ඇත. එහිදී ඇයට දැනගන්නට ලැබී ඇත්තේ කිසියම් මානසික කැළඹීමකින් පෙළුණු සාරණ්‍යා මල්ලාවි රෝහලට මාරුකර යැවුණු බව ය. වහාම මල්ලාවි රෝහලට ගිය මිත්තනියට දැරිය කිලිනොච්චි මූලික රෝහලට මාරුකර යවන ලද බව පවසා ඇති නමුත් කිලිනොච්චි රෝහලෙන් දැනුම් දී ඇත්තේ ඒ නමින් කිසිවකු රෝහලට ඇතුළත් කර නොමැති බව ය. යළිත් මාන්කුලම් රෝහල වෙත පැමිණ විමසීමේ දී, සාරණ්‍යා කිලිනොච්චි රෝහලේ 10 වැනි වාට්ටුවේ සිටින බව ඇයට දන්වා තිබෙන නමුත් අදාළ වාට්ටුවට ගිය ඇයට, දක්නට ලැබී ඇත්තේ සාරණ්‍යාට වෙන් වූ ඇඳ හිස්ව ඇති බවයි. සාරණ්‍යාගේ මෘත ශරීරය මොහොතකට පෙර මෘත ශරීරාගාරයට ගෙන ගිය බව වාට්ටුවේ වෙනත් රෝගියෙක් මිත්තනියට දන්වා තිබේ.

මියගිය සාරණ්‍යා සමූහ අතවරයකට ලක්ව ඇති බව ඇය භාරව සිටි වෛද්‍යවරයා මිත්තනියට පවසා ඇත්තේ ඉන් අනතුරුව ය.

පොලිසිය අකර්මණ්‍යයි

16 හැවිරිදි  සෙල්වරාසා සාරණ්‍යා කනකරායන්කුලම් මහා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවකි. යුද ගැටුම්වලට මැදිවීමෙන් ඇගේ පියා මියගොස් ඇත්තේ ඇය 07 වැනි වියේ පසුවෙද්දී ය. පසු කලෙක ඇගේ මව අනතුරකට ලක්වීමෙන් මිය ගිය හෙයින්, සාරණ්‍යාගේ හා ඇගේ බාල සොහොයුරාගේ වගකීම් ඇගේ මිත්තණියට භාරවී තිබේ. 2009 අවසන් සංහාරය අතරතුර මුල්ලිවයික්කාල් හි කොටුවී සිටි ඇය රජයේ හමුදා මගින් වව්නියාවට රැගෙන එනු ලැබිණි. අනතුරුව මිනිපිරියගේ ආරක්ෂාව ගැන සිතා ඇය වව්නියාවේ ළමා නිවාසයක් වෙත යොමු කිරීමට මිත්තණිය කටයුතු කළාය. කනකරායන්කුලම් ප්‍රදේශය තුළ යම් නිදහස් වටපිටාවක් ඇති වීමත් සමගින් සාරණ්‍යා, ඒ 9 මාර්ගයේ කනකරායන්කුලම් හා මාන්කුලම් අතර පිහිටි කුඩා ගමක් වූ මන්නාක්කුලම් හි සිය මිත්තනියගේ නිවෙස අසළ පිහිටි පාසලට ඇතුළු වී අධ්‍යාපනය හදාරා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට  පොලිසිය කටයුතු කර නොමැත.☐

© JDS