කරුණා පිලේ අම්පාර නායක ඉනියභාරතීට එරෙහිව සමූහ ඝාතන චෝදනා

පැහැරගත් තම දරුවන්  කරුණා පාර්ශවයට අයත් මුලස්ථාන භූමියක මරා වල දමා ඇතැයි අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ අතුරුදහන් වුවන්ගේ ඥාතීහු චෝදනා කරති. අතුරුදහන් වූ සිය දරුවන් පිළිබඳ සොයා බලන ලෙස ආණ්ඩුවට බලකරමින් පසුගිය 18 වැනි දා තිරුක්කෝවිල් තම්පිලුවිල් වෙළඳ සංකීර්ණය අසළ දී පැවති උද්ඝෝෂණයක දී  පුද්ගල අතුරුදහන් වීම්, පැහැරගෙන ගොස් මරාදැමීම් , කප්පම් ගැනීම් ආදී චෝදනා එල්ල වූයේ කරුණා පාර්ශ්වයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ පුෂ්ප කුමාර් නොහොත් ඉනියභාරතිට ය.

ප්‍රදේශයේ අතුරුදහන් වුවන්ගේ ඥාතීන් විසින් ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ තිරුක්කෝවිල් තම්පිලුවිල් මහා විද්‍යාලය අසළ පවත්වාගෙන ගිය එම පක්‍ෂයේ මුලස්ථාන භුමිය පරීක්‍ෂාවට ලක් කර ඉනියභාරති අත්අඩංගුවට ගන්නා ලෙසයි.

‘දේශමාන්‍ය ඉනියභාරතී’

දෙමළ විමුක්ති කොටි සංවිධානයෙන් බිඳී ගිය පසු කරුණා අම්මාන් විසින් ගොඩනගන ලද දෙමළ ජනතා විමුක්ති කොටි (TMVP) පක්‍ෂයට අයත් අම්පාර තිරුක්කෝවිල් හි පිහිටි කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් ඉනියභාරතී ක්‍රියා කළ අතර රජයේ හමුදාවන් හා එක්ව ක්‍රියාත්මක වූ කරුණා පාර්ශ්වයේ අම්පාර දිස්ත්‍රික් අණ දෙන්නා ලෙස කටයුතු කරන ලද්දේ ද ඔහු විසිනි. විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ විට ඉනියභාරති ද එහි සාමාජිකත්වය ලබා අම්පාර සංවිධායකයෙකු ලෙස පත්වීම් ලැබුවේ ය. ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපති සම්බන්‍ධීකරණ නිලධාරියකු වශයෙන් ක්‍රියා කරමින්  “දේශමාන්‍ය”  ගෞරව නාමයෙන්ද පිදුම් ලද ඔහු මේ වනවිට  නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

මෙම ඝාතන පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති දෙමළ ජාතික සන්ධානයේ අම්පාර සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොහාන් චන්ද්‍රකාන්ත් චන්ද්‍රනේරු JDS හා කියා  සිටියේ  සිය දරුවන් පැහැරගෙන යන ලද්දේ ඉනියභාරතිගේ කණ්ඩායම බව ප්‍රදේශයේ අතුරුදහන් කළ අයගේ දෙමව්පියන් කියා සිටින බවයි. “ඒ පැහැරගත් දරුවන් මෙතැන මරා වළලා තිබෙන බවත්, අඩි හයක විතර බංකරයක් වහලා දාලා තියෙන බවත් ඔවුන් කියනවා. ඊට අමතරව මරලා වැසිකිලි වලකට දාලා තියෙන බවත් කියැවෙනවා. අපේ උත්සාහය උසාවි නියෝගයක් ලබාගෙන මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරන්නයි.”

මූල්‍ය වංචා

බලහත්කාරයෙන් ඉඩම් නිවාස අත්පත් කරගැනිමට මෙම පුද්ගලයා කටයුතු කළ ආකාරය ගැන බොහෝ තොරතුරු ඇති බව පවසන රොහාන් චන්ද්‍රකාන්ත් චන්ද්‍රනේරු වැඩි දුරටත් කියා සිටියේ ‘පිඩෝ’ නමින් ගොඩනංවන ලද සංවිධානයක් සඳහා වංචනික ලෙස යුනිසෙෆ් සංවිධානයෙන් රුපියල් කෝටි පහක මුදලක් ලබාගැනීමටද ඉනියභාරතී කටයුතු කර ඇති බව ය. ‘ප්‍රදේශවාසීන් සමග එක් වී අපි ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඉනියභාරතිගේ වත්කම් ගැන පරීක්ෂණයක් කළ යුතු බවයි,” ඔහු කීය.

රොහාන් චන්ද්‍රකාත් චන්ද්‍රනේරුගේ  පියා වන දෙමළ ජාතික සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනායගම්, දෙමළ විමුක්ති කොටි සංවිධානයේ අම්පාර - මඩකළපු දේශපාලන අංශ ප්‍රධානී එළියතම්බි නාගේන්දිරන් ලිංගරාජා හෙවත් කෞසල්‍යන් සමග කිලිනොච්චියේ පැවති සුනාමී සහන රැස්වීමකට සහභාගීව පෙරළා එමින් සිටියදී 2005 පෙබරවාරි 7 වැනිදා ඝාතනයට ලක් විය. එම ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේද කරුණා පාර්ශ්වයට ය. සිය පියාගේ මරණයෙන් පසු දේශපාලනයට පිවිසි රොහාන් චන්ද්‍රනේරුට දේශපාලනයෙන් ඉවත්වන ලෙසත්, එසේ නොවුවහොත් ඔහු ද මරා දමන බවටත් 2006 වසරේ දී ඉනියභාරති විසින් මරණ තර්ජන එල්ල ක‌ළ කිරීම සම්බන්ධයෙන් පැවැති පරීක්‍ෂණයකින් පසු 2010දී ඉනියභාරතිට එරෙහිව වසරක අත් හිටවූ සිර දඬුවමක් අධිකරණය විසින් නියම කරන ලදී.

ඡායාරූපමය සාක්‍ෂි

තමන්ට එරෙහිව එල්ලවන චෝදනා ගැන ඉනියභාරතී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, තිරුක්කෝවිල්හි පිහිටි මුලස්ථානය කොටි සංවිධානය සතුව තිබූ එකක් බවත්, තමන් ඊට කිහිප වතාවක් ගොස් ඇති බවත් ය. එහෙත් පොතුවිල්, අක්කරපත්තු, තිරුක්කෝවිල් හා විනායගපුරම් ප්‍රදේශ ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් උල්ලංඝනයන් හා මාධ්‍යයට එල්ල වන බලපෑම් ගැන කරුණු සොයාබැලීම සඳහා 2007 ජුනි මාසයේ දී නැගෙනහිර පළාතේ විමර්ශන චාරිකාවක යෙදුණු ජාත්‍යන්තර හා දේශීය මාධ්‍ය නියෝජිතයන් පිරිසක් මෙම මූලස්ථානයේදී ඉනියභාරතී හමු වූ බව සනාථ කරන ඡායාරූපමය සාක්‍ෂි මීට පෙර අන්තර්ජාලයේ පළ වී තිබිණ.☐

© JDS