නිදහස් දාට පසුදාත් දෙමළ තරුණයෙක් ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට

මැද පෙරදිග සිට පැමිණි දෙමළ ජාතික තරුණයකු ඊයේ (5) දිනයේ ද කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමට  රහස් පොලිසිය කටයුතු කර ඇත. අත් අඩංගුවට ගත් 36 හැවිරිදි  කන්දසාමි කරුණානිධි  මඩකලපුව  මන්කාඩු ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි. කටාර් හි රැකියාව කරමින් සිටින ඔහු කෙටි නිවාඩුවක් සඳහා මෙරටට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ දෙමාපියන් පවසනුයේ කරුණානිධි මේ වන විට රහස් පොලිස් මුලස්ථානයේ හතර වෙනි තට්ටුවට ගෙන ගොස් ප්‍රශ්න කරන බව ය. ඒ පිළිබඳ රහස් පොලිස් නිලධාරින් විසින් ඔවුන්ට දැනුම් දී තිබේ.

පසුගිය (3) දා ඩුබායි සිට පැමිණි පැමිණි මඩකලපුව කොක්අඩිචෝලෛ පදිංචි එක් දරු පියෙකු වන විසි නව හැවිරිදි තමෝදරම් බාස්කරන් ද කටුනායක ගුවන් තොටුපලේදී රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනිණි . ඔහුද රහස් පොලිස් මුලස්ථානයේ හතර වෙනි තට්ටුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි. කරුනානිධිගේ දෙමාපියන්ට ත්‍රස්ත විමර්ශන නිලධාරින් පවසා ඇත්තේ මොවුන් දෙදෙනාම දෙමළ විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ බවයි.

කරුණා අම්මාන්

තමෝදරම් බාස්කරන් මෙන්ම කන්දසාමි කරුණානිධි ද '90 දශකයේ දී කරුණා අම්මාන් විසින් කොටි සංවිධානයට බඳවා ගනු ලැබූ අයෙකි.  කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් බිඳී ඒමේදී ඔහු සමග ඉවත් වූ 5000 ක් පමණ තරුණයෝ  රැකියා හෝ ආරක්‍ෂාව පතා මැද පෙරදිග රට වලට සංක්‍රමණය වු අතර බාස්කරන් හා කරුණානිධි ද එලෙසින්ම ඩුබායි හා කටාර් හි රැකියාවලට  පිටව ගොස් ඇත.

කන්දසාමි තුන් වතාවක් සහ බාස්කරන් සිව් වතාවක් සිය රැකියාව අතර තුර ලංකාවට පැමිණ ඇති බවත්, ඒ කිසිදු අවස්ථාවකදී අත් අඩංගුවට නොගත් ඔවුන්ව  නව පාලනය යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. අරියනේන්තිරන් JDS  වෙත පැවසීය.

67 වෙනි නිදහස සමරණ මොහොතේ මෙවැනි අත්අඩංගුවට ගැනීම් මගින් පෙන්නෙම් කරන්නේ ආණ්ඩු වෙනස් කළාට දෙමළ මිනිස්සුන්ට සිදුවන කරදර නම් වෙනසක් නොමැතිව සිදුවන බවයි,” මන්ත්‍රීවරයා පවසයි.

පැරණි ක්‍රමය තවදුරටත්

රට අත්හැර ගිය දෙමළ ජනයාට යළි සිය රට පැමිණෙන ලෙස මුදල් ඇමතිවරයා සිය පළමු පාර්ලිමේන්තු කතාවේදීම ඇරයුම් කළද, අරියනේන්තිරන් මන්ත්‍රීවරයා පවසන්නේ  මෙවැනි අත් අඩංගුවට ගැනීම් නිසා දෙමළ ජනයා ආපසු පැමිණීමට බියක් දක්වන බව ය. “ආපසු ඇවිත් උතුරු නැගෙනහිර පළාත්වල ආයෝජනය කරන්න කියන ගමන් අනික් පැත්තෙන් එන මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නවා”

රට හැර ගිය දෙමළ ජනතාවගෙන් බොහෝ දෙනා කිසියම් ප්‍රමාණයකින් දෙමළ විමුක්ති අරගලයට සම්බන්ධයක් ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ රජයේම ඇරයුමට අනුව ඔවුන් ආපසු පැමිණෙද්දී අත්අඩංගුවට ගැනීම දෙමළ ජනයාට එරෙහිව පැරණි ක්‍රමයම අඛණ්ඩව පවත්වාගෙන යාමක් බව ය.

“එහි තේරුම, කවුරු බලයට පැමිණියත් දෙමළ ජනයාට නිදහසක් නොමැති බවයි” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.☐

©  JDS