නිදහස් දිනයට පෙර දා දෙමළ තරුණයෙකු ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට

ඩුබායි සිට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අඟහරුවාදා (03) රාත්‍රියේ රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ති‍බේ. විසි නව හැවිරිදි තමෝදරම් බාස්කරන් මඩකලපුව කොක්අඩිචෝලෛ පදිංචි එක් දරු පියෙකි. ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි හි රැකියාව කරමින් සිටියදී ලැබුණු කෙටි නිවාඩුවක් සඳහා යළි  ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේදී ය. අත් අඩංගුවට ගෙන රහස් පොලිස් මුලස්ථානයේ හතර වෙනි තට්ටුවේ රඳවා සිටින ඔහුගෙන් ප්‍රශ්න කරමින් අැති බව පොලිසිය විසින් ඔහුගේ දෙමාපියන්ට දන්වා ඇති මුත්  අත් අඩංගුවට ගැනීමට හේතුවක් මෙතෙක් ඔවුන්ට දැනුම් දී නොමැත.

ශ්‍රී ලංකාවේ හැට හත් වෙනි නිදහස සමරන මොහොතේදී සිදු කෙරුණු මේ අත් අඩංගුවට ගැනීම මගින් පෙන්නුම් කරන්නේ දෙමළ ජනයාට තවමත්  සැබෑ නිදහස භුක්ති විඳීමට අවකාශ නොමැති බව යැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වි. අරියනේන්තිරන් JDS හා ප්‍රකාශ කර සිටියේය. මෙම අත් අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකිමින් කතා කළ මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ 'ආණ්ඩුවත්, ජනාධිපතිත් වෙනස් වී, මහින්ද රාජපක්ෂ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන බලයට පත්ව ඇති නමුත්, දෙමළ ජනයා මුහුණ දෙන මර්දනයේ වෙනසක් සිදුව නැතැයි මෙමගින් පෙන්නුම් කරන' බවයි.

කරුණා අම්මාන්

අත් අඩංගුවට පත් තරුණයා, මීට පෙර සිව් වතාවක්ම නිවාඩු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ පෙරළා ගොස් තිබේ. 

'ඒ කවදාවත් අත්අඩංගුවට ගත්තේ හෝ ප්‍රශ්න කළේ නැති ඔහුව පළමුවරට අත් අඩංගුවට ගැණුනේ 'යහපාලනය' කාලයේදීයි,' දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා පැවසීය.

දෙමළ විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ යැයි සැක පිට රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත් තමෝදරම් බාස්කරන් '90 දශකයේදී කරුණා අම්මාන් විසින් කොටි සංවිධානයට බඳවා ගනු ලැබූ අයෙකි.  කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් බිඳී ඒමේදී ඔහු සමග ඉවත් වූ 5000 ක් පමණ තරුණයෝ  රැකියා හෝ ආරක්ෂාව පතා මැද පෙරදිග රට වලට සංක්‍රමණය වු අතර බාස්කරන්ද ඔවුන් මෙන් ඩුබායි හි රැකියාකට පිටව ගොස් ඇති බව වාර්තා වේ.

මේ අත් අඩංගුවට ගැනීම විසින් පෙන්නුම් කරනුයේ දෙමළ ජනයා යටපත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යැයි පවසන මන්ත්‍රී  අරියනේන්තිරන් 'එක පැත්තකින් දෙමළ තරුණයින් අත්අඩංගුවට ගන්නා අතරේ  අනික් පැත්තෙන් නිදහස සැමරීම භයානක හාස්‍යයක්," යැයි කියා සිටියේය.☐

©  JDS