අතුරුදහන් කළ දරුවන් ඉල්ලා කිලිනොච්චියේ මාපිය විරෝධතා

යුද්ධයේ අවසන් දින කිහිපයේදී රජයේ හමුදාවන්ට භාර වූ සිය දරුවන් ඉල්ලා ආණ්ඩුවට බල කැරෙන උද්ඝෝෂණයක්  කිලිනොච්චි නගරයේදී ඊයේ (02) පැවැත්විණි. කිලිනොච්චි දිස්ත්‍රික් අතුරුදන්වුවන්ගේ ඥාතීන්ගේ සංවිධානය කැඳවා තිබු මේ උද්ඝෝෂණයට දේශපාලන සිරකරුවන්ගේ ඥාතීහු ද එක්වුහ.

කිලිනොච්චි පැරණි කච්චේරිය අසළින් සිය පෙළපාලිය ඇරැඹූ පෙළපාලිකරුවෝ, යුද්ධයෙන් පසු ගොඩනඟන ලද නගර මධ්‍යයේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පැමිණ, ඒ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. යුද්ධයේ අවසන් දින කිහිපයේදී  සිය ඇස් ඉදිරිපිට හමුදාවට භාර වූ දරුවන් නැවත තමන්ට ලබා දෙන ලෙස උද්ඝෝෂණයේ යෙදී සිටි මව්වරුන් ඉල්ලා සිටියේ හඬා වැලපෙමිනි. චෝදනා නොමැතිව වසර ගණනාවක් පුරා සිරගතකර සිටින සිය දරුවන් නිදහස් කරන මෙන්ද මෙහිදී හඬ නැඟිණි.

 'එවන්නම් කියලා රැගෙන ගියා'

“පුදුමාත්තලන්වල දී  අපේ ඇස්  ඉදිරිපිටමයි පුතා හමුදාවට භාර වුණේ. ඉක්මනින් එවන්නම් කීවා. එත් අද වෙනකම් කිසිම තොරතුරක් නැහැ," යි උද්ඝෝෂණයට එක් වූ මවක් සිය අතුරුදහන් වූ පුතු පිළිබඳව කියා සිටියා ය.  

"මගේ මහත්තයා පුතා නැති දුකෙන් මානසික රෝගියෙක් වෙලා ලෙඩ ගානේ. අපිට ජීවත් වෙන්න හරිහමන් ආදායම්  මාර්ගයක් නැහැ. ඒත් ඒ ඔක්කොම අමතක කරලා අද ආවේ ඒ හැම දේකටම වැඩිය පුතා අපිට ලොකු නිසායි. දැන්වත් අපේ පුතා අපිට භාර දෙන්න.”
 
පුදුමාත්තලන්හිදී ම හමුදාවට භාර වූ සිය පුත්‍රයා නැවත තමන්ට බාර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින පියෙක් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, 'මගේ පුතා හමුදාවට බාර වුණේ මගේ ඉදිරිපිටමයි. 'පුතාගෙන් කට උත්තරයක් අරන් ආපහු බාර දෙනවා. බය වෙන්න එපා, 'යැයි ප්‍රකාශ කොට සිය පුත්‍රයා හමුදාව විසින් රැගෙන ගිය බවයි.

'හමුදාව අරන් ගිය අපේ දරුවෝ අපිට දෙන්න', 'දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න', 'රටට ශාපයක් වූ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනු!',  'දෙමළ ජනයාගේ ජීවිතවලට  අැති කළ වෙනස මේකද?' ආදී විරෝධතා පාඨ ලියැවුණු පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු පිරිස් තම ඉල්ලීම් අඩංගු පෙත්සමක් ජනාධිපතිවරයාට හා උතුරු පළාත් මහ ඇමතිවරයාට යොමු කරන මෙන් ඉල්ලා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මෙහි දී බාරදෙනු ලැබිණි.☐

©  JDS