රතුපස්වල වෙඩි තැබීමට අණ දුන් නිලධාරියා තවමත් විදේශ දූත සේවයේ


පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීමට අණදුන් හමුදා බි‍්‍රගේඩියර්වරයා තානාපති සේවයෙන් ආපසු කැඳවීමට කටයුතු කරන බව මහජන ආරක්‍ෂක ඇමැති ජෝන් අමරතුංග එම සිදුවීමට මුහුණ පෑ ජනතාව හමුවේ පොරොන්දු වුවද, අදාළ බි‍්‍රගේඩියර්වරයා තවමත් තානාපති සේවයේ නිරතව සිටින බව වාර්තා වේ.

පසුගිය ආණ්ඩුව යටතේ ඥාති සංග‍්‍රහ සහ දේශපාලන පත්වීම් වශයෙන් විදේශ සේවය සඳහා පත්කරනු ලැබූ 21 දෙනකු මේ වනවිට පෙරළා රටට කැඳවා ඇතත්, ඒ අතර ඉහත වෙඩිතැබීමට අණදුන් බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධනගේ නම සඳහන් නොවේ. මෙම ලැයිස්තුවට පරිබාහිරව හෝ මෙම බ්‍රිගේඩියර්වරයා විදේශ දූත සේවයෙන් ආපසු කැඳවා ඇති බවට මේ දක්වා රජය නිල වශයෙන්  නිවේදනය කොට නොමැත.

කොළඹ ආඥාපති

හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් අත් වැසුම් කර්මාන්ත ශාලාවකින් බැහැර කැරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එකතුවීමට විරෝධය දක්වමින් රතුපස්වල හා ඒ අවට ගම් රැසක ජනතාව විසින් 2013 අගෝස්තු මස පළමුවැනිදා සිදුකළ උද්ඝෝෂණයට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කැරුණු මෙහෙයුමට නායකත්වය දෙනු ලැබූවේ එවකට කොළඹ ආඥාපති වූ බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන විසිනි. හමුදා වෙඩි ප‍්‍රහාරවලින් හා පරදීම්වලින් පාසල් සිසුවකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මියගිය අතර, තුවාල ලබා රෝහල් ගත කැරුණු සංඛාව 37කි.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායක සිද්ධියෙන් දෙමසකට පමණ පසුව, එනම් 2013 ඔක්තෝබර් මාසයේදී කියා සිටියේ ‘‘රාජකාරියට පැවරී ඇති නීතිමය සීමාවන් ඉක්මවා ගොස් වෙඩි තැබීම සිදුකොට ඇති බව පරීක්‍ෂණ වාර්තාවෙන් අනාවරණය වී තිබෙන’’ බව ය. වෙඩි තැබූ පුද්ගලයන් යුද හමුදා අධිකරණයට කැඳවීම සඳහා තවදුරටත් සාක්ෂි ගොනුකරමින් සිටින බව ද ඔහු පැවසීය.

කඩිනම් පරීක්‍ෂණ

එහෙත් සිදුවූයේ හමුදා පරීක්‍ෂණ යටපත් කැරෙමින් රාජපක්ෂ ආණ්ඩුව යටතේ චූදිත බි‍්‍රගේඩියර්වරයාට තුර්කියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්තව එහි දෙවැනි ලේකම්වරයා වශයෙන් විදේශ සේවා පත්වීමක් හිමිවීම ය. හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පවරන ලද ඔත්තු සේවා රාජකාරි මොහුට පැවරී තිබේ. රතුපස්වල ඝාතකයන් පිළිබඳ නඩු විභාගයක් ගම්පහ අධිකරණයේ තවදුරටත් විභාග වෙමින් පවතී. සිද්ධියට අදාළ පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන්නැයි ඉල්ලමින් ප‍්‍රදේශවාසීන් විසින් වැලිවේරිය නගරයේ සිදුකරන ලද උද්ඝෝෂණයට සහභාගී වෙමින්, මහජන ආරක්‍ෂක, කතෝලික ආගමික කටයුතු සහ ආපදා කලමණාකරන ඇමැති ඇමැති ජෝන් අමරතුංග නොබෝදා පොරොන්දු වූයේ මේ පිළිබඳ පරීක්‍ෂණ කඩිනමින් අරඹා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන බව ය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා බලකායට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන, විශාල මිනිස් සංහාරයකට හේතු වූ අවසාන යුද මෙහෙයුම්වලට ප්‍රමුඛ දායකත්වයක් සැපයූවෙකි. යුද අපරාධ චෝදනා එල්ලවී සිටින මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ 58වෙනි සේනාංකයට අයත් 581 බලසේනාව මෙහෙයවා ඇත්තේ බි‍්‍රගේඩියර් ගුණවර්ධන විසිනි. යුද්ධයෙන් පසු රාජපක්‍ෂ ආණ්ඩුව විසින් මොහු කොළඹ ආඥාපති ලෙස පත් කරන ලද්දේ ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත ය. රතුපස්වල සිද්ධිය මුල්කොටගෙන උත්සන්න වූ ජනතා විරෝධය හමුවේ අදාළ තනතුරින් ඉවත් කළ බ්‍රිගේඩියර් ගුණවර්ධන පසුව තුර්කියේ අන්කාරා නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ලෙස පත්කොට යැවුණි.☐

© JDS