ශිෂ්‍ය ක්‍රියාධරයන්ගේ මරණ ගැන 'අන්තරේ' සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලයි

මීට දෙවසරකට පෙර අභිරහස් ලෙස මියගිය කැලණි හා රුහුණු  සරසවි ශිෂ්‍ය ක්‍රියාධරයන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කරන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී  එහි කැඳවුම්කරු නජිත් ඉන්දික කියා සිටියේ මෙම මරණ හදිසි අනතුරක් ලෙස හුවා දැක්වීමට පොලිසිය කටයුතු කරමින් සිටිය ද, ඒවා සාවද්‍ය මිනිස් ඝාතන බවට සැක කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඇති බව ය.

“හදිසි අනතුරකදී මහේස්ත්‍රාත් පරීක්‍ෂණයකින් තොරව මළ සිරුරු ඉවත් කරන්නේ නැහැ. එහෙත් මෙතැනදී පොලිසිය එවැනි පිළිගත් ක්‍රියා පටිපාටීන්ට පටහැනිව ඔවුන් දෙනොගේ සිරුරු රැගෙන ගොස්  තියෙනවා,' යැයි අවිවිශිබම කැඳවුම්කරු කියා සිටියේය. ඒ වන විටත් පණ තිබූ හෙයින් තුවාලකරුවන්ගේ ජීවිත බේරා ගැනීමට එසේ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් එවකට කියා සිටියද, අදාළ අනතුරින් මොහොතකට පසුව පොලිසිය අසල්වාසීන්ගෙන් මළ සිරුරු දෙකක් වැසීමට යැයි පවසමින් ගෝනි මළු ඉල්ලා ඇති බවද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම සිදුවීමෙන් කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණු සරසවියේ ශිෂ්‍යයෙකු වූ සිසිත ප්‍රියංකර ද සිල්වා යන සරසවි සිසු ක්‍රියාධරයෝ මරණයට පත් වූහ.

ඡායාරූප සාක්‍ෂි

"සිරුරු වැටී තිබුණු අකාරය, බයිසිකලයට හානි වී තිබු ආකාරය, ඔවුන්ගේ ශරීර වල තිබු තුවාල, ප්‍රදේශවාසීන්ගේ හා රෝහල් සේවකයන්ගේ ප්‍රකාශ නිසා මේ හදිසි අනතුරු කතාව ගැන තද බල සැකයක් මතු වන බව” පෙන්වා දුන් අවිවිශිබම නායකයා මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙමින් ඇති බවද ප්‍රකාශ කළේය.

“සිද්ධියට අදාළ ඡායාරූප පවා අපට ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපිට ඇති සැකය සහ සාක්ෂි අපි අධිකරණයට ඉදිරිපත් කරණු ලැබුවා. නඩු විභාගය ගැන පොලිසියේ හා රජයේ පාර්ශවයේ හැසිරීම හරිම ප්‍රශ්නකාරියි. රස පරීක්ෂක වාර්තාව පොලිසියට අවශ්‍ය විදිහට සකස් කර ගත්තේ මේ මරණ හදිසි අනතුරකින් සිද්ද වුණා කියන්නයි .”

වැඩ වර්ජනයක නියැලී සිටි සරසවි ආචාර්යවරුන්ගේ සංගමය විසින් දියත් කරන ලද පා ගමනට සහයෝගිතාව පළ කරනු වස් අවිශිබම විසින් සංවිධානය කළ  විරෝධතා පෙළපාලිය පේරාදෙණියෙන් ආරම්භ වූයේ  2012 සැප්තැම්බර් 24 වෙනිදා ය. පා ගමන 26 වෙනිදා වන විට යක්කලට ළඟා වූ අතර කොළඹ සරසවිය දක්වා පසු දිනයේ ගමන් කෙරෙන පෙළපාලියේදී බෙදා හැරීමට අවශ්‍ය අත් පත්‍රිකා තොගයක් රැගෙන ඒමට  27 වෙනිදා අලුයම මෙම සිසුන් දෙදෙනා නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශය බලා  පිටත්ව ගොස් ඇත්තේ යක්කල නගරාසන්නයේ තාවකාලික නවාතැනක සිට ය. එහෙත් කොළඹ - නුවර පාරේ ඉඹුල්ගොඩ පාසැල අසළ දී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය මෙම අනතුරට මුහුණ දී තිබේ.

දුරකථනය අස්ථානගතයි

සිද්ධියෙන් මරණයට පත් ජනක බණ්ඩාර ඒකනායක ශිෂ්‍යයාගේ ජංගම දුරකථනය අස්ථාන ගත වීමත්, අදාළ දුරකථනයෙන් ලබාගත් ඇමතුම් පිළිබඳ සේවා දායක මොබිටෙල් සමාගම වෙතින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක බිල්පත්වල සිදුවීමට ආසන්න සතියක කාලය තුළ ගන්නා ලද කිසිදු ඇමතුමක් සඳහන් නොවීමත් බරපතල සැක මතුකරන බව නජිත් ඉන්දික කියා සිටියේය.

'පොලිසිය ඉදිරිපත් කළ බිල්පත් සැක සහිත නිසා, අපි විසින් එම සමාගමෙන්ම වෙනත් ශිෂ්‍යයෙකුගේ දුරකථනයකට අදාළ සවිස්තරාත්මක බිල්පතක් ලබා ගැනීමට කටයුතු කළා. එම සිසුවාගේ දුරකථනයෙන්, මියගිය ජනක බණ්ඩාරගේ දුරකථනයට අවසාන සතියේ දී ගත් සියලු ඇමතුම් විස්තර අපි ලබාගත් බිල්පතේ සඳහන් වෙනවා. එහෙමනම් ඊට සමානව ජානක බණ්ඩාරගේ දුරකථනයේ ද සටහන් විය යුතු ඒ ඇමතුම් විස්තර සියල්ල පොලිසිය මකා දැම්මේ ඇයි කියන එක පැහැදිලි සහ සාධාරණ සැක මතුකරනවා'.

'FUTA සිසුන් අමතක කිරීම කණගාටුදායකයි'

මෙම පුවත්පත් සාකච්ඡාවට මියගිය ශිෂ්‍යයින්ගේ පවුල් නියෝජනය කරමින් සහභාගී වූ සිසිත ප්‍රියංකරගේ ඥාතියෙකු වන වසන්ත ප්‍රියදර්ශන කියා සිටියේ තම ඥාති පුත්‍රයාගේ සිරුරේ බරපතල තැලුම් සහ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවු තුවාල දක්නට ලැබුණු නිසා අදාළ මරණය රිය අනතුරක්ය යන පොලිසියේ ප්‍රකාශයන් තමන් ප්‍රතික්‍ෂේප කරන බවයි.

මාධ්‍ය සාකච්ඡාවට පෙර දුරකථන මාර්ගයෙන් JDS හා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අවිවිශිබම කැඳවුම්කරු කියා සිටියේ මෙම ශිෂ්‍යයින්ගේ මරණ සරසවි ආචාර්යවරුන්ගේ සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනයට සහාය පළ කළ ක්‍රියාමාර්ගයකදී සිදු වූවක් වූ නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සඳහා ඉකුත් මැතිවරණය තුළ පෙනීසිටි ආචාර්ය සංගම් නියෝජිතයන් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විධිමත් පරීක්‍ෂණයක් ඉල්ලා නොසිටීම කණගාටුදායක බව ය.☐

© JDS