යුද්ධයෙන් විපතට පත් මන්නාරම් ජනයා යුක්තිය පතා උද්ඝෝෂණයේ

මන් පීඩා විඳින ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා  යුද්ධයෙන් විපතට පත් මන්නාරමේ ජනයා සඳුදා (26) සාමකාමී උද්ඝෝෂණයක යෙදුනෝය. රජයේ හමුදා මගින් අතුරුදන් කරනු ලැබූ සිය දරුවන් හා ඥාතීන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසත්, කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් නොමැතිව තවමත්  රඳවා ගෙන සිටින දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් ඉල්ලා මෙහිදී උද්ඝෝෂකයෝ රජයට බල කර සිටියහ.

මන්නාරම කච්චේරිය අසළින් ඇරඹි මේ සාමකාමී පෙළපාලිය  නගර මධ්‍යයේ වෙළඳ සංකීර්ණය දක්වා ගමන් ගත් අතර ඒකාබද්ධ විරෝධතාවය සංවිධානය කරන ලද්දේ මන්නාරමේ සිවිල් සංවිධාන, අතුරුදහන්වුවන්ගේ පවුල් සාමාජිකයන්ගේ සංවිධානය සහ මන්නාරම සාම කමිටුව විසිනි.

සමූහ මිනීවළ

මෙහිදී උද්ඝෝෂකයින් ඉල්ලා සිටියේ යුධ අපරාධ ගැන කරනු ලබන ජාත්‍යන්තර විමර්ශනය කඩිනම් කර ඊට වගකිව යුත්තන්ට දඬුවම් පමුණුවන ලෙස ය. පසුගිය කාලයේ දී මුලික පරීක්‍ෂණ අරඹා පසුව අත්හැර දමනු ලැබූ තිරුකෙදීස්වරම් සමුහ මිනීවල ගැන පරීක්ෂණ යළි අරඹන ලෙසද උද්ඝෝෂකයෝ මෙහිදී වැඩි දුරටත් බල කර සිටිහය.

යුද්ධයේදී  රජයේ හමුදාවන්ගේ මිනිස් දඩබිමක් බවට පත් වූ මන්නාරමේ සිදු කළ මිනිස් සංහාරයන් අතර ප්‍රධාන කොට සැළකෙන්නේ 1984 දෙසැම්බර් 4 දා රජයේ හමුදා මගින් සිවිල් වැසියන් විශාල පිරිසක් ඝාතනය කිරීම ය. රජයේ හමුදා රථයක් බිම් බෝම්බයකට හසුවීමට එකටෙ'ක කිරීමක් වශයෙන් තල්ලඩි සහ සිලාවත්තායි හමුදා කඳවුරුවලට අනුයුක්තව සිටි සෙබලුන් විසින් මන්නාරම් - මැදවච්චිය මාර්ගයේ පිහිටා ඇති සිරුනාවට්කුලම්, නොච්චිකුලම්, කල්ලිකාඩ්ඩා‍යිකාඩු, උයිලන්කුලම්, මුරුන්කන් හා උයිර්තර්සනකුලම් ඇතුළු ගම්මාන ගණනාවක ජීවත් වූ ගම්වැසියන් 200කට වැඩි පිරිසක් අදාළ දිනයේ දී මරා දමන ලදී.☐

© JDS