යාපනයේ හමුදාව අල්ලාගත් ඉඩම් ඉල්ලා උද්ඝෝෂණ

නතාවට අයත් ඉඩම් හමුදාවට පවරාදීමට එරෙහි උද්ඝෝෂණයක්  බදාදා  (21) යාපනේ ආන්නෛකෝට්ටෛ, කූලාවඩි ප්‍රදේශයේ දී  පැවැත්විණි.  කූලාවඩි හමුදා කඳවුර ඉදිරිපිට පැවැත්වූ  මේ උද්ඝෝෂණයට  එක්වුවන් කියා සිටියේ  සිය ඉඩම් රජයට පවරාගෙන ස්ථිර හමුදා කඳවුරු ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බවයි. ජන විරෝධයට තුඩු දෙමින් අත්පත් කරගත් ඉඩමේ මේ වනවිට තාවකාලිකව පිහිටුවා ඇති 11 වෙනි සිංහ රෙජිමේන්තු කඳවුර  ඉදිරියේදී ස්ථිර කඳවුරක් බවට පත් කිරීමට නියමිත ය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලනය පැවති සමයේ, 1995 දෙසැම්බරයේ දී හමුදාව යාපන ප්‍රදේශය අත්පත් කරගැනීමත් සමග බොහෝ පදිංචි කරුවෝ එම ප්‍රදේශය අත්හැර පලාගියහ. එවක් පටන් මෙම ඉඩම් වල තාවකාලිකව ඉදිකළ හමුදා කඳවුරු පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කඩිනම් කෙරිණි. මේ වනවිට යුද ගැටුම් අවසන්ව වසර හයකට අසන්න කාලයක් ගතවුවද මුල් පදිංචි කරුවන්ට සිය ඉඩම් හා නිවාස වෙත යාමට අවසර තබා දී නැත.මේ පිළිබඳව ඔවුන් ආණ්ඩුවේ විවිධ බලධාරීන්ට මෙන්ම මානව හිමිකම් සංවිධාන වලට දැනුම් දුන්නද මේ දක්වාද විසඳුම් ලැබී නොමැත.

ස්ථිර අයිතිය හමුදාවට

පසුගිය දා බලයෙන් පහ කෙරුණු  ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලය තුළ ගත් තීරණයක් අනුව මෙම ඉඩම් හමුදාවට ස්ථිර පදනම යටතේ පවරා දෙන බව සන්දිලිපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිවේදනය කරන ලද්දේ මැතිවරණයට පෙර දිනයේදී ය. ඒ සම්බන්ධව අදාළ කාර්යාලය මගින් ඉඩම් වල මුල් පදිංචිකරුවන් ලිපි මගින් දැනුවත් කොට තිබේ. එහෙත්  නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් වීමෙන් පසු මෙවැනි ආකාරයේ ඉඩම් අත්පත් කරගැනීම් තාවකාලිකව අත්හිටුවා ඇතැයි මුල් පදිංචිකරුවන් දන්වා සිටියද  රජයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මේ ඉඩම සම්බන්ධයෙන් වූ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ජේඩීඑස් වෙත අදහස් දැක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන්  'මෙම තීරණය වෙනස් කරගන්න අපි ගන්න පුළුවන් සෑම උත්සාහයක්ම ගත්තා. අපිට තොරතුරු වාර්තා වුණා මේ ඉඩම් හමුදාවට ස්ථිර පදනමින්ම පවරා දෙන බවට.  ඒ නිසා අපි ප්‍රදේශ වාසීන් සමග එකතුව මීට එරෙහි උද්ඝෝෂණය  අඛණ්ඩව ගෙන යනවා”යි කියා සිටියේය. මේ උද්ඝෝෂණයට උතුරු පළාත් සභා මන්ත්‍රිනී ඇනන්දී සසීදරන් ද එක් විය.☐

© JDS