එක්සත් ජනපදය 'ශ්‍රී ලංකාවේ යුද අපරාධ තොරතුරු වසන් කළා'

ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අදාළ කිසිදු තොරතුරක් එක්සත් ජනපදය විසින් ලබා නොදුන් බව යුද්ධයේ අවසන් කාල සීමාවේ සිදුවූ මහා ජනසංහාරය පරීක්ෂා කිරීමට පත්කරන ලද එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ හිටපු සාමාජික ස්ටීවන් රැට්නර් (Steven Ratner) පවසයි.

යුද අපරාධ පිළිබඳ ඇමරිකානු තානාපති ලෙස වසර පහ හමාරක් කටයුතු කළ ස්ටීවන් ජේ රැප් (Stephen J Rapp) තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය රැට්නර් කියා සිටින්නේ විදේශයන්හි මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව එක්රැස් කරගන්නා ලද තොරතුරු තමන් හා බෙදාහදාගැනීමට ඇමරිකානු රහස් ඔත්තු සේවා මැලි වූ බවයි.

ඇමරිකානු බුද්ධි අංශ වෙත බලපෑම් කිරීමේ දී ස්ටීවන් රැප් අත්කරගත්තේ මඳ සාර්ථකත්වයක් බව කියන රැට්නර්, ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සොයාබැලීම සම්බන්ධයෙන් ද එක්සත් ජනපදයෙන් ලැබුණු සහාය ඉතා අල්ප බව පවසයි. මීට උදාහරණ වශයෙන් ඔහු එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් විසින් පත්කරන ලද කමිටුව වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන අතරවාරයේ රැප්ගේ කාර්යාලයට ගිය අවස්ථාව මෙනෙහි කරයි.

සුදු කොඩි ඝාතන

ලංකා හමුදාවන්ට භාරවීම සඳහා එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකරණය යටතේ පැමිණෙමින් සිටි ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයන් හමුදාව විසින් ඝාතනය කිරීමට අදාළ චෝදනාව පිළිබඳ රැට්නර් තොරතුරු සොයමින් සිටියදී සිද්ධියට අදාළ තොරතුරුවලට ඇමරිකානු තානාපති කාර්යාලය බාධා කළ බවට තොරතුරු තමන් අසා තිබුණු බව රැට්නර් පවසයි.

‘‘තමන්ට අප සමඟ බෙදාහදාගගත හැකිවන්නේ මොනවාද යන්න පිළිබඳ තමන් පනවාගෙන ඇති ඉතා දැඩි සීමා ඔවුහු අපට එළිපිටම දැක්වූහ. ඇත්තට ම ඔවුන් අපට කිසිදු තොරතුරක් ලබාදුන්නේ නෑ.’’ ස්ටීවන් රැට්නර් වැඩිදුරටත් පවසයි.

බරැක් ඔබාමා ගේ පරිපාලනය විසින් 2009 වසරේ දී අපරාධ පිළිබඳ ඇමරිකානු තානාපති ලෙස පත්කරන ලද ස්ටීවන් ජේ රැප් සිය තනතුරින් ඉවත්වීමට තීරණය කොට ඇත්තේ ඇමරිකානු බලධාරීන් ජාත්‍යන්තර යුද අපරාධ සම්බන්ධයෙන් ඔවුන් සතුව පවත්නා තොරතුරු ප‍්‍රමාණවත් පරිදි ලබාදීමට කටයුතු නොකරන බැවිනැ’යි එක්සත් ජනපද මාධ්‍ය පවසයි. රැප්ගේ කි‍්‍රයාකලාපය පොදුවේ අගයන මානව හිමිකම් කි‍්‍රයාධරයෝ, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගැඹුරින් සහයෝගය දීම සඳහා දැඩි අභිලාශයකින් කැපවුණු ඇමරිකානු පරිපාලනයේ නීතිවේදියා රැප් බව පවසති.☐

© JDS