දේශපාලන සිරකරුවන්ට 'පොදු සමාවක් නෑ' - ආණ්ඩුව දෙමළ සන්ධානයට කියයි

සේයාරුව: vikalpa.org


නවාරි 12 වැනිදා අලුතින් ඇමති මණ්ඩලයක් පත් කිරීමට මදකට කලින් දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වූ අවස්ථාවේදී දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමේ ඉල්ලීම නව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

දේශපාලන සිරකරුවන්පොදු සමාවක් ලබා දී නිදහස් කරන ලෙස තමන් කළ ඉල්ලීම ඉටු කිරීමට මැලිවූ ජනාධිපතිවරයා එක් එක් සිරකරුවා සම්බන්ධයෙන් වෙන වෙනම නීතිමය පියවර ගැනීම කඩිනම් කරන වග පැවසු බව හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝධයම් සම්බන්ධන් පැවසීය.

නිල රැඳවුම් ස්ථානවල මෙන්ම මෙතෙක් හෙළි නොකළ ස්ථාන වලද දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා තබා සිටින බවට මානව හිමිකම් සංවිධාන මීට පෙර රජයට චෝදනා කර එල්ල කොට තිබේ. මෙයින් ඇතැමුන් දශකයකට අධික කාලයක් නඩු නැතිව සිර ගත කොට තබා ඇති අතර වැඩි දෙනකු රඳවා ගනු ලැබුවේ යුද්ධයේ අවසාන යුගයෙන් පසුව ය.  

'ආණ්ඩුවට යන්නේ නැහැ'

ආණ්ඩුවට එක්වන්නට නව ජනාධිපතිවරයා කළ යෝජනාවට තමන් එකඟ නොවූ බව කී දෙමළ ජාතික සන්ධානයේ නායකයා රජය සිදු කරන කටයුතු  සම්බන්ධයෙන් සහාය දෙන්නේද නැතිද යන්න තීන්දු කරන්නේ එකී යෝජනා වෙන්ව සලකා බැලීමෙන් යයි කියා සිටියේ ය.  

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මාධ්‍යවේදීන්ට කියා තිබුනේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් රටේ කවර පලාතක හෝ හමුදා කඳවුරු පවත්වාගෙන යාමට තම පක්‍ෂයේ විරෝධයක් නැතැයි ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි. කෙසේ වෙතත්, සාමාන්‍ය ජනයාට අයත් පුද්ගලික ඉඩම් හමුදාව විසින් අත්පත් කරගැනීම නුසුදුසු හෙයින් ඒවා ජනතාව වෙත ආපසු ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටි බවත් මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේය.

උතුරේ ඉඩම් අල්ලා ගැනීම සහ හමුදාකරණය සම්බන්ධයෙන් සොයා බැලීමටත්, ජාතික ප්‍රශ්නයට සුදුසු විසඳුමක් ලබා ගැනීමටත් ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු දෙකක් පත් කිරීමට ජනාධිපතිවරයා සහතික වූ බව දෙමළ ජාතික සන්ධාන නායකත්වය වැඩිදුරටත් කියා සිටියේය.

© JDS