පලස්තීන සංහාරයට එරෙහිව 'ඉමොජියක්' දැමූ මුස්ලිම් තරුණයෙක් මාස නවයක් හිරේ

අතුල විතානගේ විසිනි


ලස්තීන ජනයාට එරෙහිව සිදුකරන ඊශ්‍රායෙල් අපරාධ පිළිබඳ විරෝධය හඟවන ‘ඉමොජි‘ රුවක්  සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි යෙදූ 'වරදට' ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික තරුණයෙකු  නව මසක් පුරා බන්ධනාගාරගත කරතැබීමට නීති බලධාරීන් ක්‍රියාකර තිබේ.

කොළඹ 10, සිරි ධම්ම මාවතේ පිහිටි ගුවන් සේවා පුහුණුවීම් පිළිබඳ පෞද්ගලික ආයතනයක, ගුවන් මැදිරි කාර්ය මණ්ඩල ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් සිටි සිසුවකු වූ මාවනැල්ලේ පදිංචි 21 හැවිරිදි මොහොමඩ් ෂුහායිල් මොහොමඩ් රිෆායි, 2024 ඔක්තෝබර් 23 වැනිදා දෙහිවල ප්‍රදේශයේ නවාතැන් සඳහා කාමරයක් සොයායන අතරතුර දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ජාතික හැඳුනුම්පත සිය සන්තකයේ නොතිබීම හේතුවෙනි. ඔක්තෝබර් 24 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තරුණයාගේ පියා විසින් ඔහුගේ ජාතික හැඳුනුම්පත උසාවියට ඉදිරිපත් කළ අතර ඒ අනුව ඔහු නිදහස් කර යැවීමට උසාවිය විසින් නියෝග කරන ලදී.

කෙසේවුවද, 'ඊශ්‍රායෙල් කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය අසල සැක කටයුතු ලෙස ගැවසුණු අයකු අත්අඩංගුවට ගත් බව'ට පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් 2024 ඔක්තෝබර් මාසයේ 24 සහ 25 යන දෙදින තුළ මාධ්‍ය වාර්තා පළ වූයේ ඒ වනවිටත් අධිකරණය මගින් අදාළ පුද්ගලයා නිදහස් කර තිබීම ගැන කිසිදු සොයා බැලීමකින් තොරව ය. පොලිස් ප්‍රකාශක නිහාල් තල්දූව සමග ඔක්තෝබර් 24 වැනිදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ විදේශ ඇමති විජිත හේරත් විසින්ද 'ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වූ තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට' කියා සිටි අතර ඉන් එක් අයෙක් 'මාවනැල්ලේ පදිංචිකරුවකු' බවද ප්‍රකාශ කර තිබුණි.

"අපි මාවනැල්ලේ ඉඳන් අයිඩෙන්ටි කාඩ් එක උසාවියට ගිහින් ඉදිරිපත් කළාට පස්සේ, 2024 ඔක්තෝබර් 23 වැනිදා අත්අඩංගුවට ගත්තු පුතාව 24 වැනිදා ගල්කිස්ස උසාවියට දාලා නිදහස් කළා. පුතාත් එක්ක එදාම අපි ආපහු ගෙදර එනකොට රෑ 9.3010 ට වගේ ඇති. ඒ වෙනකොටත් දෙහිවල පොලීසියෙන් කණ්ඩායමක් ගෙදරට ඇවිත් හිටියා. උසාවියෙන් නිදහස් කළාට පුතාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකරලා තියෙන සටහනක් ගැන කට උත්තරයක් ගන්න තියෙනවා, හෙට උදේ හය වෙනකොට එවන්නම් කියලා ඒ අය ආයෙමත් පුතාව අරගෙන ගියා"යැයි මොහොමඩ් ෂුහායිල්ගේ පියා වූ මාවනැල්ලේ පදිංචි මොහොමඩ් රිෆායි ජේඩීඑස් වෙත පැවසීය.

පසුදා උදෑසනම ඔවුන් යළිත් දෙහිවල පොලීසිය වෙත ගියද එදින ෂුහායිල් නිදහස් නොකරන ලද අතර දෙහිවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනුරුද්ධ හේරත්ගේ විමර්ශනයෙන් අනතුරුව දින දෙකක් පොලිස් සිරමැදිරියේ රඳවා ගැනීමෙන් පසු ඔහුව ගල්කිස්‌ස මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබුණි.

ප්‍රබන්ධ චෝදනා

කෙසේ වුවද, දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගල්කිස්‌ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අංක බී 48841/24 වාර්තාව මගින් මෙම අත්අඩංගුවට ගැනීමට අදාළ පසුබිම සහමුලින්ම වසන්කොට ව්‍යාජ තොරතුරු සැපයීම මගින් අධිකරණය නොමග යැවීමට ක්‍රියාකර ඇති බව පෙනී යයි.

ඒ අනුව, මෙම තරුණයා ඔක්තෝබර් 24 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින්ම නිදොස් කොට නිදහස් කළ අයකු බව හෝ එදිනම රාත්‍රියේ මාවනැල්ලේ ඔහුගේ නිවසට යවන ලද විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යළිත් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව හෝ උසාවියට දන්වා සිටීමෙන් වැළකී ඇති පොලිස් බී වාර්තාව, සාවද්‍ය ලෙස දක්වා ඇත්තේ දෙවන වරටද ඔහු අහම්බෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවලදී බව ය. 'දෙහිවල මුහුදුබඩ මාර්ගයේ ෆෙයාලයින් පාර අසළ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක් අසළ සැකකටයුතු ලෙස රැඳී සිටි සැකකරු මීට පෙරද අත්අඩංගුවට ගත් අයකු බව මතක් වී ප්‍රශ්න කළ විට එකිනෙකට පරස්පර පිළිතුරු දුන් හෙයින් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කළ බව' එහි දක්වා තිබේ.

නමුත්, එම වාර්තාවේ දක්වා ඇති කරුණුවලට පටහැනිව, මොහොමඩ් ෂුහායිල් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රියේ මාවනැල්ලේ ඔහුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමක් බව බව සනාථ කරන ආවේක්ෂණ කැමරා දර්ශන ජේඩීඑස් සතුව තිබේ.

"ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රියේදී අපේ නිවසට ඇවිත් දෙහිවල OIC මහත්තයා ඇතුළු පොලිස් නිලධාරීන් පුතාව අරන් ගියා. පොලිස් ජීප් එකකින් ආවේ"යැයි මොහොමඩ් රිෆායි ජේඩීඑස් වෙත අවධාරණය කළේය.

"දෙවැනි වතාවටත් අත්අඩංගුවට ගත් පුතාව 27 වැනිදා ආයෙමත් ගල්කිස්ස උසාවියට ඉදිරිපත් කළා. එදා හිටියේ වැඩබලන විනිසුරුවරයෙක්. එයා පුතාව ඇතුළට දාන්න නියෝග කළා. අපි එතුමාගෙන් ඇහුවා කලින් හිටිය විනිසුරුතුමා පුතාව නිදොස් කොට නිදහස් කළා, දැන් මොකක්ද මේ වෙන්නේ කියලා. පොලීසිය කිව්වා දවස් පහක් විතර යනකොට නිදහස් කරනවා කියලා. ඒත් නීති උපදෙස් ආවේ නැහැ කියල අදටත් මැගසින් හිරගෙදර තියාගෙන දවස් 14 න් 14ට උසාවි දානවා, දැන් මාස 9 ක් වෙනවා"යි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

‘ඉමොජි‘ ත්‍රස්තවාදය

ඉහත කී 'බී වාර්තාව' මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ෂුහායිල්ගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී එහි ඊශ්‍රායල් විරෝධී ක්‍රියාකාරකම් හඟවන "ඊශ්‍රායල් කොඩියට පිහියකින් අනින ඡායාරූපයක්" හමු වූ බව ය. එවැනි `ජායාරූප` පළ කිරීම "කුමන අරමුණක් ඉටුකිරීම සඳහා ක්‍රියා කරන්නේ ද යන්න තවදුරටත් විමර්ශන සිදුකරන බව"ත් කිසියම් විනාශකාරී ක්‍රියාවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ නම් එය "ජාතික ආරක්ෂාවට හා මහජන සාමය පවත්වා ගෙන යාමට විශේෂ තර්ජනයක් වන කරුණක් බවත්" එකී වාර්තාවේ දැක්වේ. ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කොට ඇති අතර ඒ සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නොමැති බවද පොලීසිය සිය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

කෙසේවුවද, මේ වනවිට ජේඩීඑස් සතුව තිබෙන අදාළ ඉන්ස්ටග්‍රෑම් සටහන විසින් පෙන්නුම් කරන්නේ, "ඊශ්‍රායෙල් ධජයට පිහියෙන අනින ඡායාරූපයක්" ලෙස පොලීසිය සාවද්‍ය ලෙස දක්වා ඇත්තේ, ඊශ්‍රායෙල් ධජය සහ කඩුහරඹ ක්‍රීඩාවෙහි නිරත පුද්ගලයකු (person fencing imoji) එක පෙළට දැක්වෙන ඉමෝජි රූ දෙකක් බව ය.

හිතුවක්කාරී ලෙස අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මෙසේ රඳවාගැනීම නිසා සිය පුතුට ඔහු විසින් හදාරමින් සිටි පාඨමාලාව සම්පූර්ණ කර ඉකුත් ජනවාරියේ පැවති උපාධි ප්‍රදානයට සහභාගීවන්නට නොහැකි වූ බව මොහොමඩ් රිෆායි කනස්සල්ලෙන් යුතුව පැවසීය.

සිය දරුවා අනීතිකව අත්අඩංගුවට ගැනීමට එරෙහිව 2025 අප්‍රියෙල් 21 වැනිදා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපියකට අනුව පොලිස් මුලස්ථානයේ පැමිණිලි කිරීමට රිෆායිට අවස්ථාව ලැබී තිබේ. 2025 අප්‍රියෙල් 22 වැනිදා ගල්කිස්‌ස පොලීසියේ මහජන සහන මැදිරියට කැඳවා ඔහුගේ පැමිණිල්ල සටහන් කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත්තේ ඉන් අනතුරුව ය.

ජුලි 09 වැනිදා මෙම නඩුව ගල්කිස්ස උසාවියේදී යළි කැඳවීමට නියමිතව තිබේ.

මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍යවල පළ වූ සීමිත තොරතුරුවලට අමතරව, මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් විසින් මොහොමඩ් ෂුහායිල් අත්අඩංගුවට ගෙන මාස නවයක් තිස්සේ රඳවා තබා ගැනීම ගැන `අනිද්දා` පුවත්පතට සපයන ලද වාර්තාවක් මගින් මුල්වරට අනාවරණය කර තිබිණි.

පොලිසියේ මුස්ලිම් විරෝධී ජාතිවාදය

දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මුස්ලිම් වැසියන්ට ව්‍යාජ චෝදනා එල්ලකොට හිතුවක්කාරී අත්අඩංගුවට ගැනීම් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවේ.

2024 දෙසැම්බර් 29 දින, උදෑසන යාඥාවට සහභාගී වී පෙරළා නිවස බලා යමින් සිටි 17 හැවිරිදි මුස්ලිම් ජාතික ශිෂ්‍යයකුද මේ ආකාරයෙන්ම ‘සැකපිට‘ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් ක්‍රියාකර ඇත්තේ, අසළ සිටි අයකු විසින් ඔහු තමන් හොඳින් දන්නා පාසැල් ශිෂ්‍යයකු බව සහතික කිරීමට ඉදිරිපත්වීම පවා නොතකමිනි. බලහත්කාරයෙන් පොලිස් ස්ථානයට ගෙන එනු ලැබූ සිසුවාගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගැනීමට එම පොලිස් නිලධාරීන් කටයුතුකර ඇති අතර, සිය දරුවා දේවස්ථානයේ සිට පෙරළා නිවසට නොපැමිණීමෙන් කණස්සල්ලට පත් මව්පියන් ඔහුගේ ජංගම දුරකථනයට දෙන ලද ඇමතුම් පනහකට වැඩි ප්‍රමාණයට ප්‍රතිචාර නොතිබූ හෙයින් ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරීම සඳහා දෙහිවල පොලිස් ස්ථානයට පැමිණ තිබේ. සිය දරුවා පොලිස් සිරභාරයේ පසුවන බව ඔවුන් දැක ඇත්තේ එසේ පැමිණීමෙන් පසු ය.

තම නිලධාරීන් විසින් සාවද්‍ය හේතු මත අත් අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍යයාගේ දෙමව්පියන්ට ඒ පිළිබඳ කණගාටුව පළකොට ඔහු නිදහස් කර යැවීමට පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියාකර ඇත්තේ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී පාර්ශ්වයන්ගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

මේ අතර ඉකුත් මාර්තු 22 වැනිදා ද කොම්පඤ්ඤ වීදිය පොලීසිය මගින් මුස්ලිම් ජාතික තරුණයකු වූ මොහොමඩ් ලියාවුදීන් මොහොමඩ් රුෂ්දි අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊශ්‍රායල් විරෝධී ස්ටිකරයක් ඇලවීම නිසා ය. කොළඹ පිහිටි සුපිරි වෙළඳ සැලක රැකියාවේ නියුතු, නිට්ටඹුව, ඕචඩ් වත්තේ පදිංචි 22 හැවිරිදි තරුණයකු වූ හෙතෙම, පලස්තීන ගාසා තීරයේ ගෙනයනු ලබන සංහාරයට එරෙහිව විරෝධය පෑම සඳහා කුඩා 'ස්ටිකරයක්' ඇලවූ 'වරදට' අත්අඩංගුවට ගන්නා ලද අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මාර්තු 25 වැනිදා අනුමැතිය ලබා දී තිබුණි.

ඒ ආසන්න දිනවලදීම එරාවුර් සහ බේරුවල යන ප්‍රදේශවලදී මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙක්ගෙන්ද පොලීසිය ප්‍රශ්න කර තිබුනේ පලස්තීන ජනයාට සහාය පළකරන සටහන් සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම නිසා ය.


සංහාරයට ලක්වෙමින් සිටින පලස්තීන ජනතාව හා සහයෝගීතාව පළකළ සාමාන්‍ය මුස්ලිම් ජනයාට මේ ආකාරයේ මර්දනකාරී බලපෑම් එල්ල වූවද, 77 වසරකට පෙර 750,000ක් පලස්තීන ජනයා සිය මුල් ගම්බිම්වලින් පළවා හැරීම සිහිපත් කෙරෙන 'අල් නක්බා දිනය' සැමරීම වෙනුවෙන් මැයි 15 වැනිදා කොළඹ දී පැවති නිල රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ප්‍රවාහන, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන දෙදෙනාම සහභාගී වෙමින් අදහස් දැක්වූ බව වාර්තා විය.

අපකීර්තිමත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව ඒ යටතේ දැනටත් අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ රුකී ප්‍රනාන්දු සිදුකළ විමර්ශනයක් මගින් අනාවරණය කර තිබේ.

මේ අතර, 2024 නොවැම්බර් 25 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකළ ලිපියක් මගින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වූ හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී ඇත්තේ, 2023 ජනවාරියේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා වූ කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.☐

© JDS