සිරගත මුස්ලිම් ජාතික කවියාට එරෙහිව රහසේ අධිචෝදනා ගොනු කරයි

කිත්සිරි විජේසිංහ විසිනි


න්තවාදි අදහස් දැරූ බවට ව්‍යාජ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා ගෙන සිටින මුස්ලිම් ජාතික තරුණ කවියාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවත්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයත් (CTID) එකතුව රහසිගත ලෙස අධිචෝදනා ගොනු කොට තිබේ.

අදාළ චෝදනා පිළිබඳ නඩු විභාගය අද (15) පුත්තලම මහා අධිකරණයේදී ආරම්භ විය.

දහ අට මාසයකට අධික කාලයක් නිසි අධිකරණ ක්‍රියාවලියකින් තොරව මෙන්ම නීත්‍යානුකූල නොවන රැඳවුම් නියෝගයක් ද සහිතව CTID භාරයේ රඳවාගෙන සිටින සිය සේවාදායක මුහම්මදු අහ්නාෆ් මුහම්මදු ජසීම් ට එරෙහිව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය චෝදනා ගොනුකර තිබෙන්නේ කුමන්ත්‍රණකාරිව යැයි අහ්නාෆ් ජසීම්ගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන සංජය විල්සන් ජයසේකර චෝදනා කරයි.

පාතාල ක්‍රියාවක්

"මේක පැහැදිලිවම ක්‍රමන්ත්‍රණයක්. ත්‍රස්ත මර්දන කොට්ඨාශය අදාළ වගකිව යුතු පාර්ශ්ව සමග එකතුවෙලා අධිචෝදනා ගොනු කරලා තියෙන්නේ සැකකරු හැටියට නම් කරලා ඉන්න අහ්නාෆ්ටවත්, ඔහුගේ නීතිඥවරයා හැටියට කටයුතු කරන මටවත් දැනුම් දීලා නෙමෙයි. මේක තනිකරම ස්වභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කිරීමක්; මූලික අයිතීන් උල්ලංඝණය කිරීමක්", නීතිඥ ජයසේකර තරයේ ප්‍රකාශ කළේය.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය අනීතිකව සිදුකරන කටයුතුවලට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් සහාය දක්වන බව මෙවැනි සිදුවීම්වලින් මනාව පැහැදිලිවන්නේ යැයි ද නීතිඥවරයා චෝදනා කර සිටියේය.

"අධි චෝදනා ඉදිරිපත් කිරීමේදි සැකකරුට සහ ඔහු වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරයාට ඒක දැනුම් දීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක්. ඒකට හේතුව මහාධිකරණයේ නඩුව මෙහෙයවන්නේ ඔවුන් නිසායි. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන කරුණු ඉදිරිපත් කරන්න ගියාමයි මේ අධි චෝදනා ඉදිරිපත් කරලා තියෙන කතාව දැනගත්තෙත්. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආව රජයේ අධි නීතිඥවරයා තමයි කිවුවේ අපි මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරලා තියෙන්නේ කියලා" .

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට මුල සිටම අවශ්‍ය වූයේ අහ්නාෆ් නිරපරාදේ සිරගත කිරීමට බවත්, ඔවුන් ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කරමින් සිටින බවත් නීතිඥ විල්සන් ජයසේකර පෙන්වා දෙයි.

"අහ්නාෆ්ව අත්අඩංගුවට ගත්තේ කිසිම නීතිමය පදනම්ක් නැතුව, සාක්ෂි නැතුව. අත්අඩංගුවට අරගත්තට පස්සේ උසාවියට ඉදිරිපත් නොකර තියාගෙන හිටියා. ඒ, අත්අඩංගුවට ගත්ත හේතු සනාත කරන්න තරම් සාක්ෂි නැති හින්දා. ඔහුට විරුද්ධව බොරු සාක්ෂි හදන්න බැලුවේ ඒ නිසායි. ඒක හරි ගියේ නෑ. ඊට පස්සේ ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ ඩිරෙක්ටර්, අහ්නාෆ්ගේ තාත්තව ගෙන්නලා තර්ජනය කරලා ඒ ගොල්ලෝ කියන දේ පිළිගන්න කිවුවා. අන්තිමට දැන් හොරෙන් අධිචෝදනා ඉදිරිපත් කරලා,"යැයි නීතිඥ විල්සන් ජයසේකර චෝදනා කර සිටියේය.

යම් සැකකරුවකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීම මෙන්ම කරුණු දැක්වීමට නීතිඥවරයෙකුට පූර්ණ අයිතියක් තිබෙන අතර, විශේෂයෙන්ම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන අවස්ථාවක ඒ සම්බන්ධව පූර්ණ දැනුවත්භාවයක් ලබා ගැනීමේ හිමිකම සහ අයිතිය සැකකරුට මෙන්ම ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන නීතිඥවරයාට ද හිමි වේ. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 195 වන වගන්තියේ () උප වගන්තියට අනුව අධිචෝදනා පත්‍රය ලබා ගැනීමේ හිමිකමක් සැකකරුට හිමි වන්නේය.

එහිම () උප වගන්ති ප්‍රකාරව "ඒ අධිචෝදනා පත්‍රය මත නඩු විභාගයට භාජනය කරන එක්, එක් චූදිතයා වෙත අධිචෝදනා පත්‍රයේ පිටපතක් එහි ඇමුණුම් පිටපතක් ද සමඟ භාරදීමට සැලැස්විය යුතු අතර "නඩු විභාගය පවත්වන දිනය චූදිතයාට දැනුම් දිය යුතුව" තිබේ.

නීතිය කඩන අධිකරණය

රටේ නීතිය ක්‍රියාක්මක වීමේදි සලකා බැලෙන ප්‍රධානතම ලියවිලි තුනෙන් එකක එසේ සඳහන් වුවද, නීතිය ක්‍රියාත්මක කරවන ප්‍රධානතම ආයතන දෙකෙන්ම ඒ නෛතික සිද්ධාන්තයන් මෙන්ම නියමයන්ද බරපතල ලෙස නොතකා හැර දමා ඇති බව නීතීඥ ජයසේකර පෙන්වා දෙයි. ඔහු පවසන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව අහ්නාෆ් ජසීම්ට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් මස 10 වැනිදා ය. එසේ අධිචෝදනා ගොනුකර ඇති බවට නීතිඥ සංජය විල්සන් ජයසේකර ප්‍රමුඛ නීතිඥ කණ්ඩායම විසින් දැන ගන්නේ එයින් මාසයක් පමණ ඉක්ම ගිය පසු නොවැම්බර් 5 වැනිදා ය. ඒ පෙර සඳහනක් කළ පරිදි මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට ගිය අවස්ථාවේදි ය.

මහාධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔක්තෝබර් 10 දින අධිචෝදනා ගොනු කරන විට සැකකරු හෝ ඔහුගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේද, නොඑසේනම් ඔවුන්ව අධිචෝදනා පිළිබඳව දැනුවත් කර තිබේද යනුවෙන් විමසීම අධිකරණයේ කාර්යක්ව පැවතුනද මහාධිකරණ විනිසුරුවරයා හෝ විනිසුරන් එවැනි විමසීමක් සිදුකර නොමැති බව පෙනීයයි. අපරාධ නඩුවක් මෙහෙය වීමේ වගකීම මෙන්ම අයිතිය නීතිපතිවරයා අත පැවතුනද සැකකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හෝ සැකකරුට හිමිවිය යුතු නෛතික අයිතිවාසිකම් වෙනුවෙන් හිමිකම් කීමේ අයිතිය හෝ නීතිඥවරයෙකුගෙන් උදුරා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට තබා අධිකරණයටවත් නොහැකි බව ජේඩීඑස් සමග අදහස් පළ කළ මානව හිමිකම් නීතීඥයන් කිහිප දෙනකුම අවධාරණය කළහ. නමුත් කවර හෝ තත්ත්වයක් මත මහාධිකරණය තම වගකීම පැහැර ඇති බව ද ඔවුහු කියා සිටිති.

තරුණ කවියෙකු මෙන්ම දෙමළ භාෂා ගුරුවරයෙකුද වන අහ්නාෆ් ජසීම් ට එරෙහිව ව්‍යාජ චෝදනා එල්ලකර දීර්ඝ කාලයක් සිරගත කිරීමේ දැඩි උත්සාහයක ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය, නීතිපති දෙපාර්තමේන්තුව පමණක් නොව, අධිකරණයද නිරතව සිටින බව ජේඩීඑස් වෙත අවස්ථා ගණනාවකදීම දැන ගන්නට ලැබුණි.

විශේෂයෙන්ම, මහේස්ත්‍රාත් අධිකරණයේදි ඒ තත්ත්වය දිගින් දිගටම සිදුව ඇති අතර, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින්ට අවැසි පරිදි කටයුතු කරන්නට මහේස්ත්‍රාත් අධිකරණය ඉඩ ලබා දී ඇති බව පැහැදිලියව පෙනී යයි. අහ්නාෆ් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම්ට අදාළව දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමටත්, අහ්නාෆ් හමුවී තොරතුරු සපයා ගැනීමටත් අවස්ථා ගණනාවකදීම ඉහළ අධිකරණයන් හමුවට ගොස් කරුණු කියමින් අරගලයක නිරත වන්නට ඔහුගේ නීතිඥවරුන්ට සිදුවූයේ මේ හේතුවෙනි. නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් රහසිගතවත්, වංචාකාරිවවත් එමෙන්ම නීතියට පටහැනිවත් සැකකාර අහ්නාෆ්ගේ නීතිඥවරයාගේ විත්ති වාචකයන්ට ඉඩක් ලබා නොදෙමින් අධිචෝදනා ගොනු කරන්නට පුත්තලම මහාධිකරණය විසින් ලබා දී අවසරය පිළිබඳව සැලකිල්ලෙන් බැලිය යුතු වන්නේ එබැවිනි.

කුමන්ත්‍රණයක්

මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර පවත්වන නඩු විභාගයක් යනු පැමිණිලි පාර්ශ්වය මෙන්ම විත්ති පාර්ශවයට ද එකසේ වැදගත් හා ඉතා තීරණාත්මක නඩු විභාගයකි. ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන නිසි පරිදි නීතිඥවරුන්ට, පවුලේ සාමාජිකයන්ට හමුවීමට පවා ඉඩ නොදී රැඳවුම් නියෝග භාරයේ තබාගෙන සිටින තරුණයකු සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන අධිචෝදනා කෙතරම් වැදගත් වන්නේද, එහි නෛතික විනිවිදභාවය කොතෙක්ද යන වග විමසා බැලිය යුතු වන්නේ එනිසා ය.

අන්තවාදි අදහස් දැරීම මෙන්ම එම අදහස් පතුරවා හැරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අහ්නාෆ් ජසීම් දිගින් දිගටම දැඩිව කියා තිබුණේ තමන් එම චෝදනා මුළුමණින්ම ප්‍රතික්ශේප කරන බව ය. නීතිපති දෙපාර්තමේන්තුව සහ CTID ය විසින් මහාධිකරණය හමුවේ ගොනු කොට ඇති අධිචෝදනා කවර ඒවාදැයි අහ්නාෆ් ට දැනුම් දීමකින් තොරව නඩු විභාගය ආරම්භ වුයේ නම් එය කුමන පිළිගත් නෛතික සම්ප්‍රධායන්ට එකඟදැයි අධිකරණය විසින් පිළිතුරු ලබාදිය යුතුව තිබේ.

අවම වශයෙන් ඔහුගේ නීතිඥවරයා හෝ නොදැන ත්‍රස්ත මර්දන පනත යටතේ ඉදිරිපත් කෙරෙන එම චෝදනා කවර ආකාරයේ ඒවා වුවද එමගින් තරුණ කවියෙකහො ගුරුවරයෙකු වන අහ්නාෆි ජසීම්ට දඬුවම් පැනවීමට අවශ්‍ය පසුබිම වංචනික ලෙස නිර්මාණය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට ද හැකි වන්නේය.

ඒ අනුව පෙනී යන බරපතල කාරණය වන්නේ මෙෙම ක්‍රියාවලිය අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාහය ද එකතුව කරනා ත්‍රෛ පාර්ශ්වික කුමන්ත්‍රණයක් බව ය.☐

© JDS