වධහිංසාවට ගොදුරුවූ මාධ්‍යවේදියා රෝහලින් පොලිසියට ගිය පසු අත් අඩංගුවට

කිත්සිරි විජේසිංහ විසිනි 


න්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ගොස් රඳවා තබා ගනිමින් වධ හිංසා පමුණුවා පසුව මහ මග අතහැර දමා ගිය ජනමාධ්‍යවේදියකු කටඋත්තර දීම සඳහා නීතිඥවරයකු කැටුව පැමිණීම 'සුළුවෙන් තැකිය නොහැකි වරදක් ' ලෙස චෝදනා කළ පොලිසිය ජනමාධ්‍යවේදියා රඳවා ගෙන තිබේ.

පොලිසිය මෙසේ රඳවාගෙන ඇත්තේ පහර කෑමෙන් තුවාල ලබා සතියක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් මුදා හැරීමෙන් පසු සිය බිරිඳ සමග කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට (CCD) රැගෙන යනු ලැබූ සුජීව ගමගේ ය. ඔහුට නීති සහාය ලබා දීමට ගිය නීතිඥයා පවසන්නේ තමන්ටද පොලිස් නිලධාරීන් තර්ජනය කළ බව ය. පැය ගණනාවක් තනිව තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ජනමාධ්‍යවේදියා රඳවාගෙන ඇත්තේ මධ්‍යම රාත්‍රියත් ඉක්ම ගිය පසු ය.

''මම කොළඹ අපරාධ කොට්ඨාශයට ගියේ මගේ සේවාදායකයාගේ පවුලේ අයගේ දැනුම් දීමට. ඔහුව පැය ගණනක් පීඩාවට පත් කරමින් ප්‍රශ්න කරමින් ඉන්නවා කියලයි පවුලේ අය මට කිවුවේ. ඒ වුණාට මට මගේ සේවාදායකයට නීති සහාය දෙන්න බැරි වුණා විතරක් නෙමෙයි, 'නීතිඥවරයෙක් ඔහු වෙනුවෙන් පොලිසියට ආපු එක වරදක්, ඒ නිසා එයාව නිදහස් කරන්නේ නෑ' කියලත් තර්ජනාත්මකව කිවුවා,” යි මාධ්‍යවේදී සූජිව ගමගේ වෙනුවෙන් කරුණු දැක්වීමට CCD ට ගොස් තිබුණු නීතිඥ නාමල් රාජපක්ෂ ජේඩීඑස් හා පැවසීය.

'රජය අපහසුතාවට පත් කරන අයට නීති සහාය බෑ'

පසුගිය දහවැනි දා සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගැනීමට ලක්වු ජනමාධ්‍යවේදි සුජීව ගමගේ සත් දිනක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ දින (17) සවස් වරුවේ නිවසට යෑමට සූදානම් වන විට රෝහලට පැමිණ ඇති කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් 'කට උත්තරයක් ' ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ඔහු සහ බිරිඳ නයනි ගමගේ රැගෙන ගොස් තිබුණි. පසුව පස්වරු 5 සිට රාත්‍රි 12 පමණ වනතුරු නිලධාරින් කණ්ඩායමක් මාධ්‍යවේදි ගමගේ ගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් වෙන් වෙන්ව අඛණ්ඩව ප්‍රශ්න කොට තිබේ. පවුලේ අයකු විසින් නීතිඥ රාජපක්ෂ අමතා තත්ත්වය දන්වා ඇත්තේ ඔවුන් දෙදෙනා පිළිබඳව කිසිදු තොරතුරුක් අසන්නට නොලැබීම නිසා ය. නීතිඥවරයා රාත්‍රි 10 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගොස් තිබෙන්නේ ඒ අනුව ය.

''මම යන කොටත් සුජීව සහ ඔහුගේ බිරිඳව ප්‍රශ්න කරන්න අරන් ගිහින් පැය පහක් විතර වෙනවා. අඩුම තරමින් මට ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලටවත් යන්න දුන්නේ නෑ. ඒ.එස්.පී. අනුරංග කියලා කෙනෙක් මට කතා කරලා කිවුවා සුජීව ව මූණ ගැහෙන්න දෙන්න බෑ කියලා. ඔහු කතා කරපු විදිහෙන්ම මට තේරුනා ඒ ගොල්ලෝ මොකද්ද කරන්න යන්නේ කියලා. 'සුජීව ආවේ ඉස්පිරිතාලේ ඉඳන්, එයා වින්දිතයෙක්ය' කියලා මම ඔහුට පැහැදිලි කරන්න හැදුවත් ඒ කිසිම දේකට ඇහුම් කන් දුන් නෑ. ඊට පස්සේ තමයි බොහෝම සැර පරුෂ විදිහට මට කිවුවේ 'ඒ මිනිහා රජය අපහසුතාවයට පත් කරලා තියෙනවා මදිවට දැන් මෙතන්ට ලෝයර්ලත් ගෙන්න ගන්නවා. ඒ හින්දම අපි මිනිහව එළියට දාන්නේ නෑ, කියලා,'' නීතිඥ නාමල් රාජපක්ෂ බදාදා දිනයේ අපරාධ කොට්ඨාශයෙ ඉදිරිපිට දී වු පැහැදිලි කරමින් කියා සිටියේය.

පෙරේදා දිනයේදී (16) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය වෙත සුජීව ගමගේ හා ඔහුගේ බිරිඳ කට උත්තරයක් ගැනීම සඳහා යැයි කැඳවා තිබුණි.

ඇත්ත, බොරු කිරීම

''සූජිවගේ බිරිඳ කට උත්තරය දෙන්න ගියාම එතන හිටිය සමහර නිලධාරින් එයාට කියලා තියෙනවා 'සුජීව කියන්නේ බොරු, එයා කියන ඒවා ඔප්පු කරගන්න එයාට බෑ, එයාම තමයි තුවාල කරගෙන තියෙන්නේ, සුජීව මානසික රෝගියෙන් නේද? ' වගේ දේවල්. මට දැන ගන්න ලැබුණු විදිහට දැන් සිද්ධ වෙන්නෙත් ඒ සැලැස්මම තමයි. සතියක් ඉස්පිරිතාලේ තියාගෙන හිටිය කෙනෙක් ටිකට් කපන කොටම රෝහලටම ඇවිත් ඇයි අරන් යන්නේ? දැන් සුජීව මොන විදිහේ ප්‍රකාශයක් දීලා තියෙනවාය කියලා පොලිසිය කිවුවත් මට කියන්න තියෙන්නේ සුජීවට තමන්ගේ පැත්තෙන් කියන්න තියෙන දේ කියන්න අපරාධ කොට්ඨාශයෙන් ඉඩක් දුන්නේ නෑ කියලයි,'' නීතීඥ රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

අත් පා පුලුස්සා දමමින් ගෙලට සහ මුණට දරුණු ලෙස පහරදි ම නිසා සිදුවු තුවාල හේතුවෙන් දින ගණනාවක් රෝහලේ සිටි සුජීව ගමගේ මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණේ වධහිංසා පැමිණ වු පුද්ගලයන්ට අවශ්‍ය වූයේ ඔහුගේ ප්‍රවෘත්ති මූලාශ්‍ර සහ ඔහු සමග සම්බන්ධතා පවත්වන විපක්ෂ දේශපාලකයන් කවුරුන්ද යන වග දැනගැනීමට බව ය.

පහරදීමට ලක් වූ මාධ්‍යවේදියාගේ බිරිඳට සහ දොලොස් වියැති කුඩා දරුවාට ජීවිත හානි සිදුකරන බවට තර්ජනය කර තිබියදී නීතිඥ ආධාරය නොලබා ජීවිතාරක්ෂාව පමණක් සළකා මේ වනවිට ලබා දී ඇතැයි විශ්වාස කළ හැකි ප්‍රකාශවල මතුවිය හැකි පරස්පරතා වේනම්, ඔහු දීර්ඝ කාලයක් සිරගත කොට තැබීම සඳහා ඒවා යොදාගැනීමට ඉඩ ඇතැයි පවුලේ සාමාජිකයෝ බිය පළ කරති.☐

© JDS