ඝාතනය කළ දෙමළ මාධ්‍යකරුවන් යාපනයේදී සමරයි

දයන් පුවත්පතේ සේවයේ නියුතුව සිටිය දී මරා දැමුණු  මාධ්‍ය සේවකයන් ඇතුළු ඝාතනයට ලක් වූ දෙමළ මාධ්‍යවේදීන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් හා ඊට සමගාමීව සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනයක් යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සෙනසුරාදා (02) පැවැත්වුණි.

සමරු වැඩසටහනට සහභාගී වූ යාපන සරසවියේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති  ඒ. රාසකුමාරන් කියා සිටියේ මාධ්‍යවේදීන්ට නිදහසේ වැඩ කළ හැකි බව නව ආණ්ඩුව ප්‍රකාශ කළත්, එසේ නිදහසේ වැඩ කළ හැකි තත්ත්වයක් අදටත් උතුරේ නොමැති බවයි.

"නමුත් උතුරේ මාධ්‍ය පහුගිය කාලේදී වගේම අදටත් නොබියව වැඩ කරනවා. මේ වන විටත් මම ජිවතුන් අතර ඉන්නේ මාධ්‍ය නිසායි. මාව ප්‍රශ්න කරන්න කියල කොළඹ හතර වෙනි තට්ටුවට කැඳ වූ වෙලාවේ ඒ ගැන මාධ්‍යයෙන් පල නොකල නම් මට නැවත එන්න ලැබෙන එකක් නැහැ," ඔහු ප්‍රකාශ කළේය.

උදයන් පුවත් පතේ කළමනාකාර අධ්‍යක්‍ෂ, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන් ද මෙහි දී අදහස් දැක්විය.

පරීක්‍ෂණ යට යයි

"මීට අවුරුදු නවයකට කලින් උදයන් කාර්යාලයට ඇතුල් වූ සන්නද්ධ කණ්ඩායමක් කාර්යාලයේ සිටි අයට වෙඩි තබා මරා දමා දේපළ  විනාශ කළා. ඊට සම්බන්ධ අය  කව්ද කියල අපි පැය භාගයක් ඇතුළත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව දැනුවත් කළත්, ඒ ප්‍රහාරය එයාගේ ප්‍රතිරූපයට කැළලක් ඇති කරන්න කොටි සංවිධානය විසින් සිදු කළ දෙයක් කියලා එයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. එහෙම කියලා පැයකට පස්සේ නිවේදනය කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි," සරවනබවන් ප්‍රකාශ කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයා පසුව පළාලි  හමුදා රෝහලට ඇතුළත් කරන ලද බවත්, ඒ ගැන විමසූ විට එය වැරදීමකින් සිදුකළ අත් අඩංගුවට ගැනීමක් බව හිටපු ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළ බවත් වැඩි දුරටත් කියා සිටි හෙතෙම, මේ වනතුරු ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂණයක් පවත්වා නොමැති බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

37 වතාවක් ප්‍රහාර

යාපනයේ පළවන පුවත්පත් අතරින් පසුගිය වකවානුව තුළ බරපතල ලෙස මර්දනයට ලක්වු 'උදයන්' පුවත්පතෙහි, ප්‍රධාන සංස්කාරකවරයා වූ එම්.වී. කානමයිලනාදන් ඝාතනය කිරීමේ අරමුණින් 2006 මැයි 02 වැනිදා එල්ල කළ ප්‍රහාරයකින් ඔහුගේ දිවි ගැළවුණද, එහි අලෙවි කළමනාකාර බැස්ටියන් ජෝර්ජ් සහයදාස් සහ  මාධ්‍ය සේවකයෙකු වන රාජරත්නම් රන්ජිත් කුමාර් යන අය කාර්යාලය තුළදීම ඝාතනයට ලක් වූහ. එම වසරේම අගෝස්තු මාසයේදී පුවත්පතෙහි බෙදාහැරීම් අංශයෙහි සේවය කළ සතාසිවම් බාස්කරන් අච්චුවේලියේදී වෙඩි තබා මරා දැමුණි. 2007 අප්‍රේල් 29 වැනිදා, උදයන් මාධ්‍යවේදියෙකු වූ සෙල්වරාජා රජීවර්මන්  මහමගදී වෙඩි තබා ඝාතනය කෙරුණු අතර පුවත්පතෙහි උප කතුවරයෙකු වූ වඩිවේලු නිමලරාජ් එම වසරේම නොවැම්බර් මස 17 වැනිදා පැහැරගෙන යාමෙන් පසු අතුරුදහන් විය. අවිගත් පිරිසක් විසින් 2011 ජූලි 29 වැනිදා එහි ප්‍රවෘත්ති සංස්කාරක ඥාණසුන්දරම් කුගනාදන්ට මරණීය තුවාල සිදු කරමින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජීවිතාරක්‍ෂාව පතා විදේශ ගත වීමට ඔහුට සිදුවිය.

උදයන් පුවත්පතෙහි මුද්‍රණාලය ද වරින් වර ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර, පුවත්පතෙහි ඉතිහාසය තුළ අවම වශයෙන් 37 වතාවක් ප්‍රහාර එල්ල වී තිබේ. අවදානම් සහ දුෂ්කර තත්ත්වයන් යටතේ අඛණ්ඩව සිය මාධ්‍යකරණයේ නිරත වීම වෙනුවෙන් උදයන් පුවත්පත දේශීයව මෙන්ම අන්තර්ජාතික ඇගයීමට ද පාත්‍ර වී ඇත.☐

© JDS