'නෝ ෆයර් සෝන්' චිත්‍රපටයේ සිංහල පිටපතක් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදෙයි

ශ්‍රී ලංකාවේ ජන සංහාරක යුද්ධයේ අවසන් අධියරේ දී සිදු කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හෙළිදරව් කෙරෙන 'යුද මුක්ත කලාපය' (No Fire Zone) වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපතක්  ජනාධිපතිවරයා වෙත ලබා දීම පිණිස ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම සතියේ නිල වශයෙන් භාර ගත්තේය. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ  ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් සමග ඉකුත් සඳුදා (27) පැවති හමුවකින් පසුව වාර්තා චිත්‍රපටයේ සිංහල හඬ කැවූ පිටපතක් සමග අධ්‍යක්‍ෂවරයාගේ පණිවිඩයක්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යොමු කෙරිණි.

“සත්‍යය හෙළිදරව් වෙමින් තිබේ.මා ඔබ ගෙන් ඉල්ලා සිටින්නේ  මේ ක්‍රියා දාමයට  බාධා නොකොට එය දිරිමත් කරන ලෙසයි. සත්‍යයේ පාර්ශ්වය ගන්නා ලෙසයි” එම පණිවිඩයේ දැක් වේ.

'සත්‍යයට මුහුණ දිය යුතුයි'

2009 දී  යුද්දයේ අවසන් වකවානුවේ සිදුවූ  යුධ අපරාධ මෙන්ම  රජයේ හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර වලින් දස දහස් සංඛ්‍යාත දෙමළ වැසියන් මිය ගිය බව  'නෝ ෆයර් සෝන්' මගින් විස්තරාත්මක හා ප්‍රබල රූපමය සාක්ෂි ඇසුරින් තහවුරු කර සිටියි.

ඉකුත් මාර්තු මාසයේ එක්සත් රාජධානියේ නිල සංචාරයක  යෙදුණු ජනාධිපති සිරිසේන, 'නෝ ෆයර් සෝන්' චිත්‍රපටය නැරඹීමට අපේක්‍ෂා කරන බව බීබීසී ගුවන් විදුලිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට පිළිගන්වා ඇති මෙම පිටපතේ සංක්‍ෂිප්ත සංස්කරණයකින් අධ්‍යක්‍ෂ මැක්රේ පෙන්වා දෙන්නේ  සෙසු ප්‍රජාවන් මෙන්ම, බහුතර සිංහල ජනයා අපේක්ෂා කරනුයේ ද ශ්‍රී ලංකාව නමැති සුන්දර දිවයිනේ නිදහස හා පුර්ණ ප්‍රජාතන්ත්‍ර අයිතීන් භුක්ති විඳිමින් සාමයෙන් වාසය කරන්නට බව ය.

"එවන් තත්වයක් උදා වන්නට නම් සත්‍යයට මුහුණ දිය යුතුයි' මැක්රේ පවසයි.☐

© JDS