කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවූ මාධ්‍යවේදීන්ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

න්නාරමේ හා වව්නියාවේ සිට ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට අඟහරුවාදා (28) කැඳවන ලද දෙමළ මාධ්‍යවේදීන් සිව් දෙනා එසේ කැඳවනු ලැබ ඇත්තේ දුරකථන ඇමතුමක් ඔස්සේ මරණිය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් පිළිබඳ ප්‍රකාශ ලබා ගැනීමට බව වාර්තා වේ.

මේ පිළිබඳව එම මාධ්‍යවේදීන්ගෙන් කළ විමසීමක දී ඔවුන් වෙනුවෙන් අදහස් දැක්වූ මන්නාරමේ නිදහස් මාධ්‍යවේදියෙකු වන රොසාරියන් ලැම්බර්ට් JDS හා කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යෂක රෝහණ හෙට්ටිඅරච්ච්චිට දුරකථන ඇමතුමක් මගින් කිසියම් පුද්ගලයෙකු මරණිය තර්ජන එල්ල කර ඇති බවට වන පැමිණිල්ලක් විභාග කිරීම සඳහා තමන් කැඳවනු ලැබ තිබූ බව ය.

තර්ජනාත්මක ඇමතුම්

'ඒ දුරකථන ඇමතුම දුන්න අංකයෙන් ඒ දවසෙම මටත්, අද කැඳවා තිබුණු අනෙක් මාධ්‍යවේදීන් තුන් දෙනාටත් ඇමතුම් අරගෙන තියෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට දැනගන්නට අවශ්‍යව තිබුණේ පැෆරල් සංවිධානයේ ප්‍රධානියාට ලැබුණු ඇමතුම හා සමාන තර්ජනාත්මක ඇමතුම් අපිටත් ලැබුණාද කියන එකයි' ඔහු කීය.

මාධ්‍යවේදීන් වශයෙන් තමන්ට නිරන්තර ඇමතුම් ලැබෙන බවත්, ඒ සෑම ඇමතුමක් පිළිබඳවම තමන් සටහන් තබා නොගන්නා බවත් කියා සිටි රොසාරියන්, අදාළ වකවානුවේ එවැනි තර්ජනාත්මක ඇමතුම් තමාට හෝ අනෙක් මාධ්‍යවේදීන්ට නොලැබුණු බව තමන් ප්‍රකාශ කළේ යැයි ද කියා සිටියේය.

කොළඹින් කිලෝ මීටර් 200කට වැඩි දුර බැහැර ප්‍රදේශයක සිට කැඳවන ලද මෙම මාධ්‍යවේදීන් සිව් දෙනාගෙන්, පෙරවරු 10 සිට පුරා පැය හතරකට ආසන්න කාලයක්  ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

'කාල නාස්තියක්'

මේ පිළිබඳව JDS වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙවැනි සිද්ධියක් පිළිබඳව ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් කොළඹට කැඳවීමේ අවශ්‍යතාවයක් තමන් නොදකින බව ය.

'අවශ්‍යතාවය තිබුණේ වෙනත් කිසියම් පුද්ගලයෙකුට තර්ජනාත්මක ඇමතුම් දුන්නා යැයි කියන දුරකථන අංකයකින් මේ මාධ්‍යකරුවන්ටත් තර්ජන එල්ල වුණා ද කියලා දැනගැනීම නම්, ඒක මේ මාධ්‍යකරුවන් ජීවත්වන ප්‍රදේශවල පොලිස් ස්ථාන හරහාම ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. නමුත් තමන් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවන්නේ කුමන හේතුවකටද කියන කාරණාව පවා මේ අයට නොදන්වා, ඒ තරම් දුර බැහැර පළාතකින් කොළඹට ගෙන්වද්දි ඔවුන්ට දරන්නට සිදුවන වියදම වගේම කාලයත් නාස්තියක්' යි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.☐

© JDS

 

සබැඳි පුවත්:

27.04.2015 - උතුරේ දෙමළ මාධ්‍යවේදීන් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි