තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත ගැන තොරතුරු වසන් කරයි

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරගත් බව ප්‍රකාශිත තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම් පතේ අඩංගු කරුණු මොනවාදැයි රජය විසින් තමන් වෙත හෙළි කොට නැතැයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන පවසයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයක්  ගතවන  දවසේ රජයේ නිල ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ තොරතුරු දැන ගැනීමේ පනතට අමතරව කැබිනට් අනුමැතිය ලද මැතිවරණ සංශෝධන සහ ජාතික විගණන පනත් කෙටුම්පත්ද හදිසි පනත් ලෙසින් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි. ආණ්ඩුවට දින සියයක් පිරීමට පෙර මෙම පනත් ගෙන බව මැතිවරණ පොරොන්දුවකි.

කෙසේ වෙතත්, නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පෙරේරා ඉකුත්දා මාධ්‍යවේදීන්ට කියා තිබුනේ ජනාධිපතිවරයාගේ විධායක බලතල සීමා කරමින් ගෙන ඒමට නියමිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව හදිසි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්පුර්ණයෙන්ම අහෝසි වන බවයි.

තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහතික වන බව ඇමතිවරයා කියා සිටියත්, අන්තර්ගත දෑ පිලිබඳ නොදැන ඒ බව තහවුරු කළ නොහැකි බවට ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය අනතුරු අඟවයි.

හෙළි නොකරන තොරතුරු

පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පෙර අනුමැතිය සඳහා ලබා දෙන බවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් කරුණාරත්න පරණවිතාන ජනමාධ්‍ය සංවිධානවලට සහතික වී තිබූ බව වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ JDS  කළ විමසීමකදී පැවසීය. එසේ වුවද, පනත කෙටුම්පත් කොට අවසන් බව දැන ගන්නට ලැබුනේ සේනාරත්න අමාත්‍යවරයා ජනමාධ්‍ය හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව යයි ඔහු ඇතුළු මාධ්‍ය සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙක්ම  JDS හා ප්‍රකාශ කළහ.

යෝජිත පනත් කෙටුම්පතේ අපේක්ෂාව රාජ්‍ය ආයතන සහ ඒ යටතේ පවත්නා ආයතන සම්බන්ධ තොරතුරු දැන ගැනීමේ අයිතිය යැයි රජය ප්‍රකාශ කරයි. එහිදී, ‘ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, රාජ්‍ය ආරක්ෂාව සහ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ජාත්‍යන්තර සබඳතා වලට බලපාන,’ තොරතුරු හෙළි නොකර සිටීමට රජයට ඉඩ සැලසෙන බව සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය. ඊට අමතරව, ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල හානි පැමිණවිය හැකි තොරතුරු’ සහ ‘පුද්ගලයකුගේ ආර්ථික බැඳීම් හෝ වෙළෙඳ රහස්,’ පිළිබඳ තොරතුරු ද හෙළි නොකර සිටීමට නව පනත යටතේ  ආණ්ඩුවට ඉඩ ප්‍රස්ථා සැලසෙයි,

'ජාතික ආරක්ෂාව'

‘ජාතික ආරක්ෂාව’ යනු කුමක්දැයි නිශ්චිත ලෙස නිර්වචනය කොට දක්වන ලෙස තොරතුරු දැන ගැනීමේ පනත සැලසුම් කිරීමේ කමිටු රැස්වීම්වලදී තමන් විසින් රජයට යෝජනා කරන ලද බව ලසන්ත රුහුණගේ පවසයි. ඇතැම් ගනුදෙනුවලදී සිදුවන අක්‍රමිකතා හෙළි කර ගැනීම වැලැක්වීම සඳහා ‘ජාතික ආරක්ෂාව’ට මුවාවීමේ අවදානමක් ඇති බව ඔහු පෙන්නා දෙයි. ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව සඳහා වැය කරනු ලබන්නේත් මහජන මුදල් බව ඔහු අවධාරණය කරයි.

රාජ්‍ය ආයතන සඳහා පමණක් නොව, සංස්ථා ඇතුළු අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම, මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය නොවන ආයතන සඳහාත් තොරතුරු දැන ගැනීමේ පනත වලංගු විය යුතු බව ලසන්ත රුහුණගේ ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතත් කෙටුම්පත් කළ යුතු බවට තම සංවිධානය රජයට යෝජනා කළත් ඒ නිර්දේශ පිළිගෙන ඇතිදැයි නොදන්නා බව ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.☐

© JDS