යාපනයේ මාධ්‍යවේදීන්ට එරෙහි පොලිස් තර්ජන යළිත් ඉහළ යයි

යාපනයේ මධ්‍යවේදීන්ට ආරක්‍ෂක අංශවලින් එල්ල වන තර්ජන යළිත් ඉහළ යමින් ඇති බව පෙන්නුම් කරන සිද්ධීන් කිහිපයක් සතියක් ඇතළත දී වාර්තා වී තිබේ. පොලිස් නිලධාරියෙකු විසින් පාසැල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියක් වාර්තා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයකට කැඳවන ලද මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ප්‍රදේශයේ පොලිස් බලධාරීන්, සාමකාමී මහජන විරෝධතාවක් වාර්තා කිරීමට ගිය තවත් මාධ්‍යවේදීන් තිදෙනෙකුට ද මරණ තර්ජන එල්ල කොට ඇත.

පළමු සිදුවීමේදී, 'වීරකේසරි' හා 'උදයන්' පුවත්පත්වල නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන එන්.ලෝගදයාලන් අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ප්‍රවෘත්තිය පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයක් සඳහා බදාදා (08) නෙල්ලියාඩි පොලිසිය වෙත ගිය විට ය. අත් අඩංගුවට ගත් ගැනීමෙන් අනතුරුව පේදුරු තුඩුව මහේස්ත්‍රාත් බී.සුබ්‍රමානියම් වෙත ඉදිරිපත් කරන ලද ලෝගදයාලන් අප්‍රේල් 17 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කර තිබේ. 

නෙල්ලියාඩි පොලිසියේ නිලධාරියෙකු මෙම අතවර සිද්ධියට සම්බන්ධ බව ලෝගදයාලන් සිය පුවත් වාර්තාව මගින් පෙන්වා දී තිබිණි. ඔහුට එල්ල කර ඇති චෝදනා කවරේද යන්න ප්‍රසිද්ධ කර නොමැති නමුත් අදාළ වාර්තාව පිළිබඳ මුලාශ්‍ර හෙළි කිරීමට ලෝගදයාලන් කටයුතු නොකිරීම, ඔහු පොලිස් අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇතැයි යාපනේ මාධ්‍යවේදීහු JDS වෙත පැවසූහ.

කෙසේ වුවද බ්‍රහස්පතින්දා (09) ඔහු පුද්ගල ඇප මත නිදහස් කිරීමට කටයුතු කළ පේදුරු තුඩුව මහේස්ත්‍රාත්වරයා මැයි 29 වැනිදාට යළිත් උසාවියේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කළේය.

සිවිල් අැඳුමින් මරණ තර්ජන  

මේ අතර යාපනයේ නල්ලුර් කෝවිල අසළ අඟහරුවාදා (7) පැවති විරෝධතා උපවාසයක් වාර්තා කිරීමට ගිය 'යාල් තිනක්කුරල්' පුවත්පතේ මාධ්‍යවේදියෙකු හා යාපනයේ මධ්‍ය සමාජයේ සභාපති තර්මබාලා විනෝජිත්, කොළඹ පෞද්ගලික ගුවන් විදුලි සේවාවක තම්බිදු‍රෛ පිරතීබන් සහ නිදහස් මාධ්‍යවේදියෙකු වන ශ්‍රී රාචන්ද්‍රන් මයුරප්‍රියන් යන තිදෙනාට සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් විසින් මරණ තර්ජන එල්ල කොට තිබේ. යාපනේ චුන්නාකම් හි පිහිටි විදුලි උත්පාදක මධ්‍යස්ථානයකින් පරිසරයට බැහැර කෙරෙන දැවී තෙල් හේතුවෙන් සිදුවන පරිසර හානියට එරෙහිව මෙම උපවාසය සංවිධානය කර තිබුණි.

අදාළ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් සිය මාධ්‍ය ආයතන කරා පිටව යන්නට සූදානම් වන විට සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඔවුන්ගේ යතුරු පැදිවල ලියකියවිලි හා හැඳුනුම්පත් පිළිබඳ විමසා තිබේ. සිවිල් ඇඳුමින් සිටි ඔවුන්ට ඒවා පරීක්‍ෂා කිරීමට ඇති අයිතිය පිළිබඳව අදාළ මාධ්‍යවේදීන් විසින් පෙරළා ප්‍රශ්න කිරීමෙන් පසු කුපිත වී ඇති එක් පොලිස් නිලධාරියෙකු කිණිස්සක් පෙන්වා ඔහුන්ට තර්ජනය කර ඇතැයි වාර්තා වේ. අනතුරක් සිදුවනු වළක්වා ගනු පිණිස සිය යතුරු පැදිවල නැගී වහා එම ස්ථානයෙන් පිටව යාමට තමන් කටයුතු කිරීමේදී, අංක NP BAL 2172 දරණ යතුරු පැදියේ නැගීගත් අදාළ පොලිස් නිලධාරීන් තමන් ලුහුබැඳ එමින් තර්ජනය කළ බව ද මාධ්‍යවේදිහු ප්‍රකාශ කරති.

මේ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා යාපනය පොලීසිය වෙත ඔවුන් ගිය අවස්ථාවේදී ඔවුන් ලුහුබැඳ ආ නිලධාරියෙක් පොලිසිය තුළට පැමිණ මාධ්‍යවේදීන්ට යළිත් තර්ජනය කොට පහරදීමට උත්සාහ කර තිබේ. සිද්ධියට සම්බන්ධ සිවිල් හැඳගත් දෙදෙනා පොලිස් නිලධාරීන් බව පිළිගෙන ඇති පොලිස් බලධාරීන් ඔවුන් කිණිස්සක් පෙන්වා ඇත්තේ ආත්මාරක්‍ෂාව සළසා ගනු පිණිස යැයි ප්‍රකාශ කර ඇත. සිද්ධියට මුහුණ පෑ මාධ්‍යවේදීන් තිදෙනා මේ සම්බන්ධයෙන් යාපනයේ මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

සිද්ධියට මුහුණ දුන් තර්මබාලා විනෝජිත් සහ  ශ්‍රී රාචන්ද්‍රන් මයුරප්‍රියන් යන මාධ්‍යවේදීන් දෙදෙනා මීට පෙරද, උතුරු වලිකාමම් අධි ආරක්‍ෂක කලාපය තුළ තිබූ මහජනයාට අයත් නිවාස යුද හමුදාව විසින් ඩෝසර් යොදා රහසිගතව විනාශ කිරීමේ පුවත අනාවරණය කිරීම හේතුවෙන් අාරක්‍ෂක අංශවල තර්ජනයට මුහුණ පෑහ.☐

© JDS