ප්‍රංශ කාටුන් ශිල්පීන් ඝාතනයට මාධ්‍ය සංවිධාන විරෝධය

නමාධ්‍යවේදීන් අට දෙනකු ඇතුළු දොළහකට මරු කැඳවමින් ප්‍රංශයේ මාධ්‍ය ආයතනයකට ඊයේ (07) එල්ලවූ ප්‍රහාරය ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන වල දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

පැරිස් නුවර පිහිටි ෂාලි එබ්දෝ (Charlie Hebdo) කාටූන් සඟරා කාර්යාලයට ජනවාරි හත් වැනිදා කරන ලද වෙඩි තැබීමෙන් අඩුම වශයෙන් දොළොස් දෙනකු මිය ගොස් තිබේ. මියගිය පිරිස අතර ප්‍රකට කාටුන් ශිල්පීන් පස් දෙනකු හා සඟරා සංස්කාරකවරයාද වෙයි.

වෙඩිතැබීම සිදුවූ දිනය 'කලු බදදා' ලෙසින් නම් කරන පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (RSF) සංවිධානය, තමන් මෙයින් මහත් කම්පනයට පත් වූ බව පවසයි.

"මාධ්‍ය ආයතනයකට මාරාන්තික ආයුධ වලින් ප්‍රහාරයක් සිදු කිරීම සාමාන්‍යයෙන් ඉරාකයේ, සෝමාලියාවේ හා පකිස්තානයේ සිදුවන දෙයක්," බව ප්‍රහාරයෙන් පසුව එතැනට ගිය RSF මහ ලේකම් ක්‍රිස්ටොෆ් දලුවා(ර්) (Christophe Deloire) ප්‍රකාශ කළේය.

සතිපතා පලවන ෂාලි එබ්ඩෝ සඟරාව සන්නද්ධ ප්‍රහාරයකට ගොදුරුවූ මුල්ම අවස්ථාව මෙය නොවේ. ඉස්ලාමීය මතවාද උපහාසයට ලක් කළ කිහිප අවස්ථාවකදීම එය ප්‍රහාරයට ලක්වී තිබේ. කතෝලික සභාවද උපහාසයට ලක් කළ කාටුන් නිරන්තරයෙන් පළ කරන සඟරාව ප්‍රංශ පාඨකයන් අතර ප්‍රසාදයට ලක්වුවකි. විශාල අලෙවියක් නොතිබුණ ද 1969 සිට පළ කරන ලද එම සඟරාවේ කතුවරයකු විසින් එය හඳුන්වනු ලැබුවේ 'වාමාංශික බහුවිධත්වයේ සකළ අංගෝපාංග කැටිකරගත්' ප්‍රකාශනයක් ලෙසිනි.

මාධ්‍ය ආයතනයකට කඩාවැදී හිතුමතේ වෙඩි තැබීම තරම් මාධ්‍ය ඇතුළු අනෙකුත් නිදහසට එරෙහිව කළ හැකි තවත් නරක ප්‍රහාරයක් නැති බව ප්‍රකාශ කරන  RSF මහලේකම් වරයා 'මේ ම්ලේච්ඡත්වයට එරෙහිව නිදහස හා ඉවසීම වෙනුවෙන් දිගටම සටන් කරන,' බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

© JDS