ශ්‍රී ලංකාවට එරෙහි මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීම සඳහා ධීවරයන් බිල්ලට

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිශ්පාදනයන් මිල දී ගැනීම වළක්වමින් යුරෝපා සංගමය විසින් පනවා ඇති තහනම ඉවත්කර ගැනීම සඳහා රජය විසින් ඉදිරිපත් කොට ඇති ක්‍රියාකාරි සැළැස්ම යටතේ ජාත්‍යන්තර මුහුදු සිමාවේ නීති උල්ලංඝණය කරන්නේ යැයි චෝදනාවට ලක්වන ධීවරයන්ට දඬුවම් පැමිණවීමට හැකි නව නීති සම්පාදනය කිරිමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ, ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සම්බන්ධ නීති කඩ කරන්නන් සඳහා දඬුවම් වැඩි කිරීම විෂය අංක 26 නමින් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද 2015.10.14 දිනැති කැබිනට් පත්‍රිකාවට අනුවය.

පස් ගුණයක දඩ මුදලක්

අදාළ කැබිනට් පත්‍රිකාවෙහි වැඩිදුරටත් දැක්වෙනුයේ අන්තර් ජාතික ධීවර නීති රීතිවලට අනුකූලව ශ්‍රී ලාංකීය ධීවරයන් කටයුතු නොකිරීම හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ මසුන් මිළදී ගැනීම තහනම් කරමින් යුරෝපා සංගමය විසින් 2015 ජනවාරි මාසයේ සිට පනවා ඇති තහනම ඉවත්කර ගැනීම සඳහා ක්‍රියාකාරී සැළැස්මක් සකස් කර එය මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බවයි. එම ක්‍රියාකාරී සැළැස්මට අනුව ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවලදි සිදුකෙරෙතැයි පැවසෙන වැරදි සඳහා ලබා දෙන දඬුවම් ප්‍රමාණවත් නොවන බැවින් එම දඬුවම් ජාත්‍යන්තර සම්මුතීන්ට ගැළපෙන ලෙස වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත.ඒ අනුව වරද සිදුවන අවස්ථාවේදි අදාළ ධීවර යාත්‍රවේ තිබෙන මසුන් ප්‍රමාණය සහ යාත්‍රාවේ දිග පළල මත දඬුවම් නියම කෙරෙන්නේ ය.එසේම මත්ස්‍ය නිෂ්පාදන ආනයන, අපනයන කටයුතුවලට අදාළ වැරදි සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇති දඬුවම් වන්නේ අදාළ මසුන් ප්‍රමාණයේ වටිනාකම මෙන් පස් ගුණයක දඩ මුදලක් අය කිරීමට ය. දැනට ධීවර පනතේ නොමැති පරිපාලන වැරදි සඳහා දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිමටත් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

අදාළ පනත සහ ක්‍රියාකාරී සැළැස්ම පිළිබඳව ධීවර වෘත්තිකයන් කවර මතයක් දරන්නේ දැයි විමසීමේදි සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත JDS වෙත කියා සිටියේ ආණ්ඩුවේ අරමුණ මහා පරිමාණ ධීවර ව්‍යාපාරිකයන් මෙන්ම ලංකාවට එරෙහි යුරෝපා මත්ස්‍ය තහනමට වගකිව යුතු දේශපාලනඥයන්ව ආරක්ෂා කර ගැනීම බවයි.

''යුරෝපා සංගමය ලංකාවේ මසුන් මිළට ගැනීම තහනම් කළේ ධීවරයන්ගේ වරදක් නිසා නොවෙයි. ධීවර අමාත්‍යාංශය පවා දන්නවා ඇයි ලංකාවේ මසුන් මිළට ගැනීම තහනම් වුණේ කියලා. මේ ප්‍රශ්නයට වග කියන්න ඕනේ හිටපු ධීවර ඇමතිවරයා වුණු රාජිත සේනාරත්නයි. ඔහු තමයි චීන ධීවර සමාගම් එක්ක ගිවිසුම් අත්සන් කරලා ලංකාවේ කොඩිය දාගෙන චින බහු දින යාත්‍රාවලට ලංකාවේ සහ ජාත්‍යන්තර මුහුදු සීමාවේ මසුන් මැරීමට අවසර දුන්නේ. චීන බහු දින යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලුවේ කිසිම නීතියකට යටත්ව නොවෙයි. නමුත් යුරෝපා සංගමයේ තහනම් කෙරුවේ ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලට ගැනීමයි. ඒක සෘජුවම බලපෑවේ දේශපාලනඥයන්ටවත්, ධීවර ව්‍යාපාරිකයන්ටවත් නොවෙයි, සමාන්‍ය ධීවර කර්මිකයන්ටයි. ධීවර අමාත්‍යාංශයට අවශ්‍ය වෙලා තියෙන්නේ වැරද්ද කරපු හිටපු ධීවර ඇමතිවරයාව ආරක්ෂාකර ගැනීමට මිසක් අර්බුදයට ගැලපෙන විසඳුමක් ගෙන්න නොවෙයි. අනෙක අපි ඉතා පැහැදිලිවම කියනවා මේ පනත හෝ ක්‍රියාකාරී සැළැස්ම පිළිබඳව අමාත්‍යාංශය විසින් මේ දක්වා ධීවර කාර්මිකයන්ව දැනුවත් කර නොමැති බවට. අපි අමාත්‍යාංශයේ ලියා පදිංචි ධීවර වෘත්තිය සමිතියක්. එහෙමනම් ඇයි මෙවැනි පණතක් ගැන අපිව දැනුවත් නොකරන්නේ. අමාත්‍යාංශය මේ උත්සාහ කරන්නේ එදිනෙදා කුලියට මුහුදු යන ධීවර කාර්මිකයට දඩ ගහලා ධීවර කර්මාන්තයම ලංකාවෙන්ම තුරන් කර දාන්නයි''.

දේශපාලන සැළසුම්

කෙසේ වෙතත් ධීවර අමාත්‍යාංශය විසින් ධීවරයන්ට දඬුවම් ලබාදීමේ වැඩ පිළිවෙල කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පෙර අවස්ථා කිහිපයකදිම අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ බලධාරීන් කියා සිටියේ මේ මස අවසන් වීමට පෙර අදාළ තහනම ඉවත්කර ගැනිමට කටයුතු කරන බවයි. ලංකාවට එරෙහි ධීවර තහනම ඉවත් කර ගැනීම සඳහා පසුගිය ජනවාරි 28 වැනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් හිදි යුරෝපා සංගමයේ සමුද්‍ර සහ ධීවර කටයුතු භාර කොමසාරිස්වරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව විදේශ ඇමති මංගල සමරවීර මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියේ නුදුරු දිනකම යුරෝපා වෙළඳපොළ වෙත ලංකාවේ මත්ස්‍ය අපනයන සිදුකෙරෙනු ඇති බවටයි. නමුත් අදාළ සාකච්ඡාවෙන් පසු යුරෝපා සමුද්‍ර සහ ධීවර කටයුතු භාර කොමසාරිස්වරයාගේ ප්‍රකාශක එන්රිකෝ බිවියෝ මාධ්‍ය වෙත කියා සිටියේ අදාළ තහනම තවත් මාස කිහිපයක් පවතිනු ඇති බවයි. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනයන් මිලට ගැනීම නිල වශයෙන් තහනම් කරනු ලැබුවේ 2015 ජනවාරි 14 වැනි දින සිට මුත්, ශ්‍රී ලංකාවේ ධීවරයන් සාගර සහ පාරිසරික නීතින් උල්ලංඝණය කරමින්  ධීවර කටයුතුවල යෙදෙන බවට දැනුම් දීම් කර ඇත්තේ 2012 වසරේ සිට බව පැවසෙන්නේ ය.ඒ, එක්සත් රාජධානිය විසින්  'ඉන්දිය සාගර ටුනා කොමිසම' වෙත කරනු ලැබු පැමිණිල්ලක් පාදක කර ගෙන ය.

කොන්දේසි 36 ක්

මේ අතර ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය තහනමට එරෙහිව කටයුතු කිරිමට යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන කාලය එළැඹෙන ඔක්තෝබර් 31 වැනි දිනෙන් අවසන් වන බවයි. එසේම අදාළ තහනම ඉවත්කර ගැනීම සඳහා ඉටුකළ යුතු කොන්දේසි 36 ද  යුරෝපා සමුද්‍ර සහ ධීවර කටයුතු කොමිසම විසින් ලබා දී ඇති බවත් මේ වන විට එයින් කොන්දේසි 35 ක් සම්පූර්ණ කිරිමට හැකිව තිබෙන බවත් ය.

ධීවර අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැගිමට සුදානම් වන වන ක්‍රියාකාරී සැළැස්මත්, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇති ධීවරයන්ට දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදයත් යුරෝපා සංගමයේ කොන්දේසි මාලාවේ අවසන් කොන්දේසිය දැයි ප්‍රශ්න කරන ධීවර වෘත්තිය සමිති අවධාරණය කරනු ලබන්නේ මෙවැනි පණතක් හෝ නිති රේගුලාසින් සම්මත කිරීමට පෙර ධීවර අමාත්‍යාංශය විසින් ධීවරයන් සමග සාකච්ඡා කළ යුතුව තිබුණු බවයි. එසේම ධීවර පනතේ ධීවරයෙක් යනු කවරෙක්දැයි නිසි පරිදි නිර්වචනය කොට නැති බව කියා සිටින අරුණ රොෂාන්ත, එනිසාම ඕනෑම පුද්ගලයෙකුට බෝට්ටුවක් හෝ බහුදින යාත්‍රාවක් යොදා ගෙන ධීවර කටයුතුවල යෙදීමේ තහනමක් නොවන බවද පෙන්වා දෙයි. එම තත්ත්වය මත ලංකාවේ ධීවර විෂය භාර ඇමතිවරුන් පවා මත්ස්‍ය නිෂ්පාදනයේ යෙදෙන බව කියා සිටින ඔහු ඇති වී ඇති අර්බුදයට ධීවරයන්ට පෙර වගකිව යුත්තේ බහු ජාතික සමාගම් සමග මහා පරිමාණයෙන් මත්ස්‍ය නිෂ්පාදනයේ යෙදෙන එවැනි පුද්ගලයන් යැයි අවධාරණය කරයි.☐

© JDS