නව සාමූහික ගිවිසුමෙන් වතු කම්කරුවන් තවදුරටත් අර්බුදයට

තු කම්කරුවන්ගේ දෛනික වැටුප ඇතුළු ඔවුන්ගේ දිවියේ බොහෝ දේ තීරණය කෙරෙන සාමුහික ගිවිසුම ඉදිරි වසර දෙක වෙනුවෙන් යාවත්කාලීන කිරීම අප්‍රේල් මස ආරම්භයත් සමග සිදුවේ. 1999 වසරේ සිට වසර දෙකෙන් දෙකට ගිවිස ගන්නා මේ සාමුහික ගිවිසුමේ 2013 - 2015 කාලය  මාර්තු 31 වැනිදායින් අවසන් වේ. වතු හාම්පුතුන්ගේ සම්මේලනය හා පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිධුර දරමින් එය නියෝජනය කරනු ලැබූ වතුකරයේ වෘත්තීය සමිති මෙම සාමුහික ගිවිසුමට මුලික විය. අරුමුගම් තොන්ඩමාන් නායකත්වය දරණ ලංකා වතු කම්කරු සංගමය , පී රාධාක්‍රිෂ්ණන් නායකත්වය දරණ කඳුරට ජනතා පෙරමුණ සහ පී දිගම්බරන් නායකත්වය දරන ජාතික කම්කරු සංගමය ඒ අතර වේ.

සාමුහික ගිවිසුමක අවශ්‍යතාවය මුලින්ම මතුවුයේ වතු කම්කරුවන්ට එල්ල වන  පීඩනය අවම කිරීම හා කම්කරු සුරැකුම මුලික කරගෙන වුවද නව සාමුහික ගිවිසුම් තුළින් සිදුව ඇත්තේ වතු කම්කරුවන් වෙනත් අයුරකින් ශ්‍රම සුරා කෑමකට ලක් වීමත්, පීඩාවට පත් වීමත් පමණක් බව පසුගිය දශක කිහිපය පුරා වතු කම්කරුවන්ගේ ජීවිත පිළිබඳ විමර්ශනයක දී  මනා ලෙස පෙන්නුම් කරනු ඇත.

වැටුප් හා දීමනා

දෛනිකව වැටුප් ලබන වතු කම්කරුවන්ගේ මාසික අදායම තීරණය වනුයේ වැඩ ලැබෙන දින ගණන අනුව ය. සියලු දීමනා සහිතව වතු කම්කරුවන්ගේ දිනෙක වැටුප රුපියල් 620 ක් ලෙස ප්‍රකාශ වේ. මසකට උපරිම වැඩ දින ගණන 25 ක් සම්පුර්ණ කරනු ලබන කම්කරුවන්ට පැමිණීම වෙනුවෙන් රුපියල් 140 ක දිරි දීමනාවක් ලැබේ. ඉන් දින දෙක - තුනක් අඩු වුව ද සම්පුර්ණ දිරි දීමනාව අහිමි වේ. වතු කම්කරුවන්ගෙන් 75% කට මෙම දිරි දිමනාව ලබා ගැනීමේ අවස්ථාව අහිමිවන හෙයින් බහුතරයකගේ දිනෙක වැටුප රුපියල් 480 ක් පමණ වනු ඇත. පවතින කම්කරු නීතිය යටතේ නිවාඩු දිනක වැඩ කිරීම වෙනුවෙන් දින එක හමාරක වැටුප් ලබා දිය යුතු වුවද වතු කම්කරුවන්ට එසේ ගෙවීමක් සිදු නොකරේ. එය මාසික දිරි දීමනාවට එක් කළ යුතු යැයි ගිවිසුම්වල සඳහන් වුවද මසක උපරිම වැඩ දින 22 සීමාව කිසිදු ගෙවීමක් ලබා දීමට වතු පාලකයෝ ක්‍රියා නොකරති. හදිසි අසනීපයකට වුවද දින තුනකට වඩා නිවාඩු ලබා ගත නොහැකි අතර වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ ද බොහෝ වැවිලි සමාගම් කරනු ලබන්නේ එවැනි කම්කරුවෙකු අලුතින් බඳවා ගත් අයෙකු ලෙස සැළකීම ය. ගැබිණි මව්වරුන්ට පවා අත්‍යඅවශ්‍ය නිවාඩු අනුමත වන්නේ ඉතාමත් කලාතුරකිනි.

වැඩ දින

එක් කම්කරුවෙකු විසින් දිනකට නෙළන තේ දළු ප්‍රමාණය ලෙස සටහන් වන්නේ කිලෝ ග්‍රෑම් 16 කි. එහෙත් බොහෝ වතු පාලකයෝ තම නිෂ්පාදන ඉලක්ක ඉහළ දමා ගැනීමේ අරමුණින් දිනකට නෙළිය යුතු දළු ප්‍රමාණය ඉහළ නංවනු ලබයි. බොහෝ විට එය දළු කිලෝ 18, 20 සීමාව වන අතර ඇතැම් වතුවල එය කිලෝ 25 වූ අවස්ථාද පසුගිය කාලය තුළ වාර්තා විය.

පසුගිය සාමුහික ගිවිසුම මගින් වතු සමාගම් වලට සිය නිෂ්පාදන ඉලක්ක ඉහළ දමා ගැනීමට අවස්ථාව ලැබුණේ වතු වෘත්තීය සමිතිවල එකඟතාවය තුළිනි. ඒ අනුව වතු සමාගම් ගණනාවක්ම පසුගිය කාලය පුරා සිය නිෂ්පාදන ඉලක්ක ඉහළ දැමීය. එහෙත් සාමුහික ගිවිසුමේ සඳහන් වුයේ කම්කරුවා සමග සාකච්ඡා කිරීමෙන් පසු කළ යුතු වැඩ ප්‍රමාණය තීරණය කළ යුතු බවය. එහෙත් කිසිදු අවස්ථාවක කම්කරුවන් සමග සාකච්ඡා කිරීමක් නොවන අතර කම්කරු හමුවට පවා වතු පාලකයෝ සහභාගී නොවෙති.

වෘත්තීය සමිතිවල පාවාදීම

වතු කම්කරුවන්ට එල්ල වන පීඩනය හමුවේ වෘත්තීය සමිති නියෝජිතයෝ පසුවන්නේ දැඩි නිහැඬියාවක ය. මස්කෙළිය වතු සමාගමට අයත් ග්ලෙනුගි වත්තේ ඩිසයිඩ් කොටසේ කම්කරුවන් එල්ල වූ පීඩනයට එරෙහිව ස්වාධීනව නැගී සිටීම ගෙවුණු මාසය තුළ දක්නට ලැබුණු විශේෂ සිද්ධියකි. කිසිදු වෘත්තීය සමිතියක සහයෝගයක් නොමැතිව ග්ලෙනුගි වතු කම්කරුවෝ 600 ක් දෙනා වැඩ ප්‍රමාණය ඉහළ දැමීමට එරෙහිව දින තුනක වැඩ වැරීමක නිරතවූහ. දිනකට නෙළිය යුතු අවම දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 18 සිට 16 දක්වා පහත දැමීමත් , මෙතෙක් ඉලක්ක සැපිරීමට දිනකට අමතරව නෙළන ලද දළු කිලෝ ග්‍රෑම් 2 වෙනුවෙන් මුදලක් ගෙවීමත්, මුල් කරගෙන වර්ජනය ඇරඹිණි.

තොන්ඩමාන්ගේ  ලංකා වතු කම්කරු කොන්ග්‍රසය සහ රාධා ක්‍රිෂ්ණන්ගේ කඳුරට ජනතා පෙරමුණ වර්ජනයට එක් නොවන ලෙස කම්කරුවන්ට බලපෑම් කරනු ලැබූහ. දිගම්බරන්ගේ ජාතික කම්කරු සංගමය වර්ජනයට සහාය පල කරමින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කළේය. පෙබරවාරි 9 වැනිදා ආරම්භ කල වර්ජනය  පෙබරවාරි 12 වැනිදා අත්හැර දමන ලෙස ජාතික කම්කරු සංගම් නියෝජිතයෝ කියා සිටියේ මස්කෙළිය වැවිලි පාලකයන් සමග ඇති කරගත් එකඟතාවය මතය. දිනෙකට නෙළිය යුතු  දළු කිලෝ ග්‍රෑම් 16 කට අඩු කළද, අමතර මුදල් ගෙවීම කම්කරු විනිශ්චය සභාව හරහා තීරණය කළ යුතු බව මෙහිදී එකඟත්වයකට පැමිණ ඇත. එහෙත් පසුව සිදුවුයේ වැඩ කාලය දීර්ඝ කරමින්, එතෙක් භුක්ති විඳි අයිතීන් කිහිපයක්ම කප්පාදුවට ලක් කිරීමය.

වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ද සහාය ඇතිව මස්කෙළිය වැවිලි සමාගම් පාලකයෝ ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් කම්කරුවන් 8 දෙනෙක් ගැන පොලිසියට පැමිණිලි කළහ. මස්කෙළිය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් වතු කම්කරුවන් අට දෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහැරිණි.

වතු හැර යාම

වසර දෙකකට වරක් ගිවිස ගනු ලබන මෙම සාමුහික ගිවිසුම මගින් ගතවූ වසර දෙක තුල වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 115 කින් වැඩි වී ඇත. එහෙත් මෙම වැඩිවීම ඉහළ යන ජීවන වියදම හා සළකා බැලීමේදී ඉතාමත්ම සුළු ප්‍රමාණයකි. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් වලට අනුව වතු කම්කරු පවුලක මාසික වියදම රුපියල් 29,779 කි. එහෙත් ඔවුන්ගේ උපරිම මාසික අදායම වන්නේ රුපියල් 12,000 ක් වැනි අවමයකි. 1992 දී  ප්‍රේමදාස ආණ්ඩුව විසින් වතු පෞද්ගලිකරණය කිරීමත් සමග වතු කම්කරුවන්ගේ වැටුප්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු බොහෝ අයිතීන් දැඩි ලෙස කප්පාදුවට ලක්විය. මේ හේතුව නිසාම වතු කම්කරුවන් වෙනත් රැකියාවන් සොයා නගරයට පලා යන්නට විය. පසුගිය වසර 20 තුළ වතු කම්කරුවන්ගේ ප්‍රමාණය 3,45000 සිට 2,08000 දක්වා 35 % කින් පහත වැටුණි.

සාමුහික ගිවිසුම

මෙවර යහපාලන ආණ්ඩුවට සම්බන්ධව සිටින වතු කම්කරු වෘත්තීය සමිති නායකයන් අතර පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමග සිටි රාධාක්‍රිෂ්ණා, දිගම්බරන්ට අමතරව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික වතු කම්කරු සමිතියේ නායක කේ.වේලායුදන් ද සිටිති. සාමුහික ගිවිසුම තවත් වසර දෙකකට ගිවිස ගැනීම සඳහා නිෂ්පාදන ඉලක්ක ඉහළ දමමින් ලාභාංශ වැඩි කරගැනීමේ අරමුණින් සිටින වතු හාම්පුතුන්ගේ සම්මේලනය සමග දේශපාලනීකරණයට ලක්ව සිටින මේ වෘත්තීය සමිති නායකයන් පෙළ ගැසෙනු ඇත. වතු කරයේ වෘත්තීය සමිති ප්‍රබලයා වූ ලංකා වතු කම්කරු සංගමය මේ වන විටත් පෙන්නුම් කර ඇත්තේ සාමුහික ගිවිසුමෙන් කර හරින ස්වරූපයකි.

වතු කම්කරුවන්ගේ දිනෙක වැටුප රුපියල් 800 දක්වා ඉහළ දමන ලෙස පසුගියදා කොළඹදී ඉල්ලා සිටියේ සමස්ත ලංකා වතු කම්කරු සංගමය විසිනි. එය යහපාලන ආණ්ඩුවේ ජාතික විධායක සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියකි. මේ වන විටත් වතු හාම්පුතුන් කියා ඇත්තේ තේ වෙළඳ පොලේ බිඳ වැටීමත් නිෂ්පාදන වියදම් ඉහළ යාමත් හේතුවෙන් කම්කරුවන්ගේ වැටුප් වැඩි කල නොහැකි බව ය.☐

© JDS