කටුනායක වෙළඳ කලාප කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණයේ

ව ආණ්ඩුවේ අතුරු අයවැයෙන් ලබා දෙන්නේයයි කී පුද්ගලික අංශයේ රු.2500 ක වැටුප් වැඩිවීම නීත්‍යනුකූලව ලබාදෙන ලෙස ඉල්ලා කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවෝ දහස් ගණනක් බදාදා (25) උද්ඝෝෂණයක නිරත වූහ.

විරෝධතා පා ගමනකින් පැමිණි දහස් ගණන් වෙළඳ කලාප කම්කරු පිරිස් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රැස්වීමක් ද පැවැත් වූ අතර උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ  නිදහස් වෙළඳකලාප හා පොදු සේවක සංගමය මගිනි.

අයවැය මගින් ලබා දෙන්නේයයි කී රුපියල් 2,500 මුදල පෙබරවාරි මාසයේ වැටුපට එකතු කරන ලෙස ඉල්ලා සිටි උද්ඝෝෂකයින්  අවධාරණය කර සිටියේ රාජ්‍ය හා පෞද්ගලික අංශ කම්කරුවන් සියලු දෙනාටම බලපවත්වන්නේ එකම ජීවන වියදමක් බව ය.

මෛත්‍රිපාල රජයේ පොරොන්දු

එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයකින් පෙන් වා දී ඇත්තේ, 'රටේ පවතින අධික ජීවන වියදම් තත්ත්වය නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ අයවැයෙන් රජයේ සේවකයන් වෙනුවෙන් මසකට රුපියල් 25,000 ක වැටුපක් ලබා දුන් නමුත්, එම අවස්ථාවේදී ද පුද්ගලික අංශයේ සේවකයන්ට කිසිවක් හිමි නොවූ' බවය. පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය අංශයේ සේවකයන්ට තවත් රු 10,000 ක් ලබා දෙන බවට පොරොන්දු වූ මෛත්‍රිපාල ජනාධිපතිවරයා  පසුගිය රජය මෙන් නොව තමන් අයවැය මඟින් පුද්ගලික අංශයේ සේවකයින්ටද වැටුප් වැඩිකරන බවට  2014 දෙසැම්බර් 31වැනි දින ජාතික රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පෞද්ගලික අංශයට ද  පොරොන්දුවක් ලබා දුන් බවද ඔවුහු පෙන්වා දෙති.

පෞද්ගලික අංශ සේවකයන් අලුත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ රජයෙන් රුපියල් 5,000ක නව වැටුප් වැඩි කිරීමකි. එහෙත් මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාවේදි හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියේ පුද්ගලික අංශයට රුපියල් 2,500 ක වැටුප් වැඩි කිරීමක් ලබාදීමට සළකා බලන ලෙස ය. උද්ඝෝෂකයන් කියා සිටියේ මීට පෙර අයවැය යෝජනා වලින් මෙලෙස පුද්ගලික අංශයේ වැටුප් වැඩිකරන ලෙස කළ ඉල්ලීම් අනුව පඩි වැඩි කළ හාම්පුතුන් ලංකාවේ නොමැති බව ය.

දැවැන්ත උද්ඝෝෂණයක්

“හාම්පුතුන් කියන්නේ පඩි පාලක සභාවලින් පඩි වැඩි කරන ලෙසයි. මෙය මහා ප්‍රෝඩාවක්. පඩිපාලක සභාවලින් වැටුප් වැඩි කළ හැක්කේ අළුතින් බඳවා ගන්නා සේවකයින්ගේ ආරම්භක වැටුප පමණයි. දැනට සේවය කරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට පඩි පාලක සභාවලට අයිතියක් නැහැ. අනෙක් අතට පුද්ගලික අංශයේ සේවකයින්ගෙන් පඩි පාලක සභා අදාළ වන්නේ තුනෙන් එකකටත් අඩු  සේවක පිරිසකට පමණයි. හාම්පුතුන් මේ හදන්නේ අලුත් සේවකයින් වැඩි පඩියට බදවා ගෙන පැරණි සේවකයින් කම්හල්වලින් හළා දැමීමටයි” නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය ලේකම් ඇන්ටන් මාකස් මෙහිදී ප්‍රකාශ කළේය.

මෙවර වැටුපට රුපියල් 2,500 ක වැටුප් වැඩිවීමක් ලබා නොදුනහොත් අනෙකුත් වෘත්තීය සමිතිවලද සහභාගිත්වයෙන් මාර්තු 12 වැනි දින කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරන බවද ඔහු කියා සිටියේය.☐

©  JDS