නැවත වනවගා කරන මුවාවෙන් මුලතිව් තේක්ක කැලෑව පිට පැටවීමට රාජ්‍ය අනුග්‍රහ

සිවා පරමේස්වරන් විසිනි


පා

රිසරික සුන්දරත්වයෙන් අනූන මුලතිව් දිස්ත්‍රික්කය තුළ "නැවත වන වගා" කරන මුවාවෙන් තේක්ක ගස් නීති විරෝධිව කපා බිම හෙලීම බැලූ බැල්මට රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව කෙරී ගෙන යන්නක් බැවින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කර වනු ඇතැයි පරිසර ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ විශාලතම වන ගහනය ඇත්තේ මෙම දිස්ත්‍රික්කයේ වන අතර දිවයිනෙහි ඊසාන දිගට වන්නට පිහිටි මෙම කලාපය පාරිසරික වටිනාකම අතින් ඉහල අගයක් ගනියි. එසේම දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් වැඩි පිරිසකගේ ජීවනෝපාය සඳහා අත්‍යාවශ්‍ය වූ වසරේ වර්ෂාපතනය කෙරෙහි ද එය බලපානු ලැබේ.

මුලතිව් ජනතාවගේ ප්‍රධාන ජීවිකා වන්නේ කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය යි. එබැවින්, ඔවුන්ගේ බඩ වියත රැක ගැනීමෙහි ලා අනෙක් සියල්ලට වඩා ප්‍රමුඛත්වය හිමිවන්නේ වනාන්තරයට සහ වැස්සට ය.

රට අභ්‍යන්තරයේ පැවති කුරිරු යුද්ධය අවසන් කළ බවට ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කළ කාල වකවානුවේ පටන් මුලතිව් හි ස්වභාවික සම්පත් හිතුමතේ වනසා දමන බවට එම ප්‍රදේශයේ ජනතාව නිරන්තයෙන් චෝදනා එල්ල කරති. එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සිය රැකියා අහිමිව ඇති අතර නීති විරෝධී වන විනාශය ඔවුන්ට තවත් දුකක්ම පමණක් විය.

වන ගහනය බරපතල තර්ජනයක

බොරළු කැනීම, කළුගල් කැඩීම, වැලි ගොඩදැමීම සහ නීති විරෝධී දැව ජාවාරම් ආදිය වන විනාශයට උදාහරණ ය. ශ්‍රී ලංකාවේ වන ගහනය වර්ධනය වෙමින් පවතින බවට සහ මෙරට විශාලතම වන වැස්ම මුලතිව් දිස්ත්‍රික්කයේ පවතින බවට රජය උදම් ඇනුව ද නීති විරෝධී දැව ජාවාරම නිසා හෙමින් නමුත් ක්‍රම ක්‍රමයෙන් එය අහිමිව යමින් තිබේ.

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විසින් රෝපණය කරණ තේක්ක වගාවන් සිඝ්‍රයෙන් උදුරා දමමින් සිටින අතර ප්‍රදේශයේ පරිසර පද්ධතියට එය දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

මෙම වගාවන්ගෙන් ලබා ගන්නා දැව, රාජ්‍ය දැව සංස්ථාව විසින් අත්කරගෙන වෙනත් ප්‍රදේශවල විකිණීම සිදු කරන්නේ මුලතිව් දිස්ත්‍රික්කය තුලම තේක්ක සඳහා ඉහල ඉල්ලුමක් පවතින විටදී ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ පැවති දෙමළ ඊළම් වනවගා අංශය විසින් 2002-2006 සාම සාකච්ඡා සමයේ වගා කර තිබූ අක්කර සිය ගණනක තේක්ක ගස්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කපාදමා, රාජ්‍ය දැව සංස්ථාවට සපයන බව ප්‍රදේශවාසීහු පවසති.

නීති විරෝධි වන විනාශය පිළිබඳ කරුණු කාරණා, TNA මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් විසින් පසුගිය වසරේ දී පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ ද වන විනාශය වැලැක්වීම සඳහා ස්ථිරසාර පිළියමක් ලබාදීමට රජය අපොහොසත් වුණි. මේ පිළිබඳ සොයා බැලිය යුතු යැයි දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩලය පවා තීරණය කළ අතර මණ්ඩල රැස්වීමේ දී තීරණයකට එළඹී නමුත් එය ක්‍රියාවට නැංවුණේ නැත.

වනාන්තර ඉඩම්වල පාලන අයිතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදීමට රජය මෑතකදී ගත් තීරණය, පවතින ගැටළුකාරී වාතාවරණය තවත් අවුල් සහගත තත්වයකට ඇද දමනු ඇති බවට ඉඟි පළ කරයි.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍රගේ අත්සනින් යුතුව මෑතදී නිකුත් කරන ලද චක්‍රලේඛනය මගින් "රජයේ වෙනත් වනාන්තර", ආර්ථික අරමුණු උදෙසා නිදහස් කිරීමේ බලය දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ ක්‍රියාවලියට පරිසර කණ්ඩායම් එකහෙළා විරෝධය දැක්වූහ. ඒ, එමඟින් වනාන්තර විනාශය පාලනය කරගත නොහැකි මට්ටමට පත්වීම යන සාධාරණ බිය නිසා ය.

කල් ඉකුත් වූ බලපත්‍රය

මුලතිව් හි පිහිටි වනාන්තරයේ සවිකර ඇති දැන්වීම් පුවරු මගින් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ දැව කැපීම සඳහා ලබාදී ඇති බලපත්‍රය කල් ඉකුත් වී ඇති බව යි. එසේ තිබියදීත් මුරිප්පු කොට්ඨාසය තුල නීති විරෝධී දැව ජාවාරම දිගින් දිගටම කරගෙන යමින් පවතී.

දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල රැස්වීමේ දී, තීරණ සහ යෝජනා සම්මත කිරීමක් හෝ සිදු නොකර, "නැවත වනවගා” කරන මුවාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව හා එක්ව තේක්ක ගස් කපා දැමීම කරගෙන යයි.

ඒ අනුව, ආපසු හැරවිය නොහැකි හානියක් පරිසර පද්ධතියට සිදුකරමින් මුරිප්පු හි අක්කර 40ක පමණ භුමි ප්‍රදේශයක පිහිටි තේක්ක ගස් මුලින් උදුරා දමමින් තිබේ.

දැව සඳහා යොදා ගැනීමට උචිත හොඳින් මේරූ ගස් පමණක් නොව ළපටි, නොමේරූ ගස් ද මෙසේ කපා දමන බවයි ඇසින් දුටු සාක්ෂිකරුවෝ ප්‍රකාශ කරන්නේ.

මෙම ක්‍රියාවලිය, පරිසර ක්‍රියාකාරීන් මෙන්ම පරිසර විශේෂඥයන් විසින් අනුමත නොකළ ප්‍රති වනරෝපණ වැඩසටහනක කොටසක් බව ද කියවේ.

තේක්ක කඳන් කපා බිම හෙළු, කැලෑ ප්‍රදේශයේ පසුගිය අවුරුදු හතරක කාලය තුළ අලුතින් කිසිදු වන වගාවක් කර නොමැති බව මුරිප්පු බලා ගියහොත් දැකගත හැකි ය.

මුරිප්පු හි දිගින් දිගටම සිදුවන නීති විරෝධී වන විනාශය සහ ඒ දැව රටේ විවිධ ස්ථානවලට ප්‍රවාහනය හේතුවෙන් මුලතිව් හි පාරිසරික සමබරතාවයට පහරක් එල්ල වී තිබේ.

ආපසු හැරවිය නොහැකි පරිසර හානිය

පාංශු ඛාදනය, ජෛව විවිධත්වය අහිමිවීම, වර්ෂාපතනය හිඟ වීම, වාසභූමි අහිමිවීම සහ ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපාය අහිමි වීම වන විනාසයේ ප්‍රතිවිපාක කිහිපයක් බව පරිසර ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

ප්‍රති වනරෝපණය මුවාවෙන් සිදුකරන වන විනාශය හුදෙක් ජනතාව රැවටීමක් සහ පරිසර විනාසයකට මුල පිරීමකි. වැලි ගොඩදැමීමෙන් සහ බොරළු කැනීමෙන් දැනටමත් පාරිසරික උවදුරකට අතවනා ඇති අවස්ථාවක නීති විරෝධී දැව කැපීම සහ වන විනාශය කනස්සල්ලට හේතුවන බව ප්‍රදේශවාසීහු කියා සිටිති.

නීති විරෝධී දැව කැපීම කරගෙන යාමට විශේෂයෙන්ම රාජ්‍ය දැව සංස්ථාවේ ආධාර, අනුබල හිමිවන බවට චෝදනාවක් එල්ල වී තිබේ. වන හානියේ විපාකය වශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයට ලැබෙන වර්ෂාපතනයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන අතර වැසි ජලය හිඟ වීම නිසා දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය ද දැඩි පසුබෑමකට ලක්ව ඇත. කෘෂිකර්මාන්තය සිය ජීවිකාව කරගත් දහස් ගණනක් ජනයා ඒ අනුව, අවදානම් අඩියකට වැටී සිටිති.

මුරිප්පු කැලෑ ප්‍රදේශවල සවිකර ඇති පුවරුවල දක්නට ලැබෙන පරිදි, දැව වගාව පිහිටි මායිම් සලකුණු කරන ලද වනාන්තරවලට ඇතුල්වීම ප්‍රදේශවාසීන්ට දැඩි ලෙස තහනම් කර ඇත.

දැව කැපීම මුළුමනින්ම නවතා දමන්න

නීති විරෝධී වන විනාශය නවතා දැමීම සහ "දැව කැපීම සඳහා බලපත්‍රයක් පිරිනැමීම"ට තිත තැබීම එකී මෙකී නොකී සියලු ගැටළුවලට දිය හැකි එකම විසඳුම බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. එසේම, සිය කෘෂිකාර්මික කටයුතු සිදු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් ජල පහසුකම් සපයා දෙන බවට රජය සහතික විය යුතු යැයිද ඔවුහු ඉල්ලා සිටිති.

අහිමිවී ගිය පරිසර සමතුලිතතාවය අර්ධ වශයෙන් හෝ තිබූ තත්වයට ගෙන ඒමට හැකිවූ බව තහවුරු කර ගැනීම සඳහා ගත හැකි එකම විසඳුම වන්නේ දැව කැපීම සඳහා කිසිදු නීතිමය අවසරයක් ලබා නොදෙමින් තිරසාර ප්‍රති වනරෝපණය සිදු කිරීමයි.

මෙරට රජය ඒ පිළිබඳ ඉක්මන් තීරණයක් නොගතහොත්, තිස් වසරක සිවිල් යුද්ධය නිමා වී කලක් ගතව ඇතත් තවමත් දුක්ඛිත තත්වයේ පසුවන මුලතිව් ජනතාවට එයින් විශාල බලපෑමක් එල්ල වනු ඇත.☐

© JDS