“වඳ සැත්කම්” චෝදනා ගෙනා පොලිස් ලොක්කන්ට එරෙහි පරීක්ෂණ වලට බාධා

කිත්සිරි විජේසිංහ විසිනි


සිංහල කාන්තාවන් දහස් ගණනක් වඳකළ බවට භීතිකාවක් මවමින් මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව ඉහළ පොලිස් නිලධාරීන් ගොනු කළ ජාතිවාදී චෝදනා අසත්‍ය බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළි වීමත් සමගින් ඉහළ පොලිස් පරිපාලනය තුළ බරපතල ගැටුමක් නිර්මාණය වී තිබේ.

‘වඳ සැත්කම්’ චෝදනා නගා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සෙයිගු ශිහාබ්ඩීන් මොහොමඩ් සාෆි සිරගතකොට උසාවි ගෙනගිය උසස් පොලිස් නිලධාරීන් මාරුකර යවන ලෙස පොලිස් ප්‍රධානියා කළ නිර්දේශය ජාතික පොලිස් කොමිසම විසින් ක්‍රියාත්මක නොකිරීමත්, පරීක්ෂණ පවත්වන පොලිස් ඒකකය වෙනස් කරන ලෙස කොමිසම කළ ඉල්ලීම පොලිස්පති විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග එම ගැටුම විවෘත කරලියට පැමිණ ඇත.

පොලිස්පතිගේ නිර්දේශය පරිදි මාරු කර නොයවා පොලිස් නිලධාරීන් දෙදෙනා වයඹ පළාතේම රඳවා තැබුවොත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට සිදුවන බවට අනතුරු අඟවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොමිසමේ ක්‍රියා කලාපය පරීක්ෂණවලට බාධාවක් බව පෙන්වා දෙයි.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් ජූලි 27 දින ජාතික පොලිස් කොමිසම වෙත දැනුම් දී තිබෙන්නේ වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මෙන්ම, කුරුණෑගල දිසාව භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක දෙදෙනා තව දුරටත් එම ප්‍රදේශයේම රාජකාරියෙහි නිරතවීම ඔවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරෙන විමර්ශනයකට හානිදායක ලෙස බලපෑමේ අවදානමක් ඇති බව ය. එම නිසා ඔවුන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයෙන් මාරුකර හරින ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කොට තිබේ.

වැඩ බලන පොලිස්පතිවරයාගේ එම නිර්දේශයට අනුව මෙම මස පළමුවැනි දින ජාතික පොලිස් කොමිසම විසින් තීන්දු කරන ලද්දේ අදාළ නිලධාරීන් දෙදෙනා වහාම වයඹ පලාතෙන් මාරුකර හැරීමට ය. නමුත් එම තීන්දුව ගෙන පැය කිහිපයක් ගෙවි ගිය තැන මාරුවීම් තාවකාලික පදනමින් අත්හිටුවිමට ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ කොමසාරිස්වරුන් තීන්දු කර ඇත.

දේශපාලන මැදිහත්වීම් ගැන කළකිරීම

'ස්වාධීන' බැව් කියන කොමිසම පොලිස්පතිවරයාට හරස් වී තිබෙන්නේ දේශපාලන මැදිහත්වීමක් නිසා යයි චෝදනා කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එමගින් විමර්ශනයට බාධා කෙරෙන ගැටලු ගණනාවක් මතුවිය හැකි බවට සැක පල කරයි.

"ඇත්තටම කොමිසම එහෙම තීන්දු කෙරුවේ මොන පදනමින්ද කියලා අපිට හිතා ගන්න බැරි උනත් පැහැදිලිවම මේක දේශපාලන මැදිහත්විමක් මත අරන් තියන තීන්දුවක් කියල නම් කියන්න පුලුවන්,” යැයි නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ රහස් පොලිස් නිලධාරියෙක් ජේඩීඑස් හා කියා සිටියේය.

“වයඹ ඩීඅයිජී ටයි, කුරුණෑගල එස්එස්පී ටයි විරුද්ධව තියන චෝදනා පිළිබඳව කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා ඉතා පැහැදිලිව කොමිසමට දැනුම් දීලා තියෙනවා. ඔවුන්ට එරෙහිව තියෙන චෝදනා ප්‍රකාශ කර සිටියේ කළකිරීම පළ කරමිනි.

එම නිලධාරීන් දෙදෙනාගේ ස්ථාන මාරුකිරීම් අත්හිටුවීමට බලපා ඇති කරුණු පිළිබඳව සොයා බැලීමේදි ජේඩීඑස් වෙත අනාවරණය වුයේ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කරන ගාමිණී නවරත්න සහ අසෝක විජේතිලක යන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ මැදිහත්වීම ද මේ සඳහා බලපා ඇති බව ය. ජේඩීඑස් හා කතාකළ රහස් පොලිස් නිලධාරියාද එම තොරතුරෙහි සත්‍යතාව පිළිගනී.

"මේ ස්ථාන මාරුව අත්හිටුවන්න ඒ නිලධාරීන් දෙන්නා මැදිහත් වෙලා තියෙනවා කියලා අපිටත් ආරංචියි. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂයි, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ බිරිඳයි පහුගිය දවසක ජනාධිපතිවරයා හමුවෙලා මේකට මැදිහත් වෙන්න කියලා ඉල්ලලාත් තියෙනවා. මේ තීන්දුව පිටු පස්සේ දේශපාලනයකුත් තියන බව පෙනෙන්නේ ඒ නිසායි. නමුත් එහෙම නීතියට පිටස්තරව වැඩ කරනවා නම් විකල්පයක් හැටියට කරන්න ඉතිරිවෙලා තියෙන්නේ අර නිලධාරීන්ව අත්අඩංගුවට ගැනීම විතරයි.”

කෙසේ වෙතත්, ජේඩීඑස් විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ජාතික පොලිස් කොමිසමේ වැඩ බලන ලේකම් නිශාන්ත වීරසිංහ කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ස්ථාන මාරුව අත්හිටුවිම ‘තාවකාලික’ කටයුත්තක් බව ය.

"මේ ගැන ලබන බ්‍රහස්පතින්දා ට (8) කොමිසම තීන්දුවක් ගන්නවා. දැනට ඒක තාවකාලික අත්හිටුවීමක් විතරයි. එතෙක් නිශ්චිතව යමක් කියන්න බෑ."

අදාළ පොලිස් නිලධාරීන්ගේ මාරුව අත්හිටුවීමට යම් දේශපාලන මැදිහත් වීමක් සිදුව ඇති බව ප්‍රතික්‍ෂේප කළ වැඩ බලන ලේකම්වරයා කියා සිටියේ තවදුරටත් ඒ සම්බන්ධ විස්තර අවශ්‍ය වන්නේ නම් පොලිසියෙන් කරුණු විමසන ලෙස ය.

ව්‍යාජ චෝදනා

වෛද්‍ය සාෆි ත්‍රස්තවාදි සංවිධාන සමග සම්බන්ධතා පවත්වන බවටත්, සිසේරියන් සැත්කම් අතරතුරදි කාන්තාවන් වඳභාවයට ලක්කර ඇති බවටත් බුද්ධි වාර්තා ඇසුරින් තමන් වෙත තොරතුරු ලැබි ඇති බව පවසමින් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කොට තිබෙන්නේ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසිනි. වෛද්‍ය සාෆි පොලිස් අත්අඩංගුවට ගැනීමට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්ම එම තොරතුරු 'දිවයින' පුවත්පතේ හේමන්ත රන්දුනුට සපයා තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව දීර්ඝව කරුණු විමසා සටහන් කරගෙන ඇති ප්‍රකාශයෙහි පිටපතක් ජේඩීඑස් වෙතද ලැබී ඇත.

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් 'දිවයින' පුවත්පත කරුණු වාර්තා කිරීමට පෙර කාන්තාවන් වඳභාවයට පත් කිරීමක් පිළිබඳව පොලිසිය විසින් කිසිදු සාක්ෂියක් සටහන් කරගෙන තිබී නොමැති බව කිත්සිරි ජයලත්ගේ ප්‍රකාශයෙන් කියැවේ.

"පොලිස් අධිකාරි කුරුණෑගල විසින් වාර්තා කර ඇත්තේ වෛද්‍ය සාෆි ඉපැයීම් අනුව, ඔහු විසින් ලබා ගෙන ඇති ඉඩකඩම් ලබා ගැනීමට හැකියාවක් නොමැති බව හා ඔහුට එන් ජී ඕ සංවිධාන හරහා මුදල් ලැබෙන බවට අනාවරණය කරගෙන ඇති බවයි. 2019.5.23 වන දිනට පෙර, එනම් එම පුවත පළවිමට පෙර වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම් සිදුකිරීමේදි වඳභාවයට පත්කරන බවට කිසිදු සාක්ෂියක් සටහන් කරගෙන නොතිබු බවත්... " යනුවෙන් එම ප්‍රකාශයෙහි සඳහන් ය.

නමුත් ජාතික බුද්ධි සේවය ඇතුළු සියළුම බුද්ධි අංශ වෙතින් වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් කැඳවන ලද බුද්ධි වාර්තා පසුගිය ජූනි 27 දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී තිබෙන්නේ කුරුණෑගල පොලිස් ප්‍රධානින් විසින් නගන චෝදනා සියල්ලම අසත්‍ය හා පදනම් විරහිත ඒවා බව ය. වෛද්‍ය සාෆි කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධවී නැතැයි එම බුද්ධි වාර්තාවලින් තහවුරුවන බව රහස් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කරන ලදී.

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට එරෙහිව නැගෙන ව්‍යාජ චෝදනා මෙන්ම, එම විමර්ශන අඩපන කිරීම සඳහා කෙරෙන බලපෑම් ද දිනෙන් දින වැඩිවන බව පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කොට තිබෙන්නේ එම තත්ත්වය වහා වෙනස් නොවුණහොත් එය අනෙකුත් පරීක්ෂණ වලටද බලපෑ හැකි බව ය. නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ පොලිස් අධිකාරි මහින්ද දිසානායක ප්‍රදේශයෙන් මාරුකර හරින ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කර ඇත්තේ ඉන් අනතුරුව ය.

ජාතිවාදී බල සන්ධානයක්

රහස් පොලිසිය විසින් වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණ කටයුතු එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට පොලිස් විශේෂ විමර්ශන ඒකකය (Special Investigation unit -SIU) වෙත පවරන්නැයි පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දී තිබුනි. වැඩබලන පොලිස්පතිවරයා කොමිසමට දැනුම් දී තිබෙන්නේ එය කිසිසේත් සිදු කළ නොහැකි කාර්යයක් බව ය.

අපරාධ පරීක්ෂණයක් සම්බන්ධයෙන් මැදිහත්වීමට හෝ නියෝග දීමට ජාතික පොලිස් කොමිසමට කිසිදු නීතිමය බලයක් නැති බව ජේඩීඑස් හා පැවසූ රහස් පොලිස් නිලධාරියා පෙන්වා දෙන්නේ රාජ්‍ය බලධාරීන් සහ නීති නිලධාරීන්ද භික්ෂුන් සමග හවුල්වූ බලවත් සන්ධානයක් දොස්තර සාෆි සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට විරුද්ධව ක්‍රියාත්මක වන බව ය.

"මේ පරීක්ෂණවලටයි, පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන්ටයි විරුද්ධව කිසිම පදනමක් නැතුව නීතිඥවරුන් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. බෞද්ධ භික්ෂුන් විවිධ ආයතනවලට පැමිණිලි කරනවා - මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරනවා. කාන්තාවන්ව මෙහෙම වඳභාවයට පත් කරන්න බෑ කියලා විශේෂඥ වෛද්‍යවරුම කියද්දි ඒක පිළිගන්නේ නැතුව උසාවිය වෙන, වෙන නියෝග නිකුත් කරනවා. මේ හැමෝටම උවමනා වෙලා තියෙන්නේ කිසිම පදනමක් නැති පැමිණිල්ලක් ජාතිවාදී කණ්ඩායම් එක්ක ඉස්සරහට අරන් යන්න."

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අනිසි ලෙස මැදිහත්වීමත්, එම විමර්ශනවලට අදාළව කෙරෙන ඉල්ලීමවලට අවසර ලබා නොදීමත් සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම්ට එරෙහිව ද , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙයට පෙර අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිලි කරන ලදී.

කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම්ගේ බිරිඳ මෙන්ම, ස්ථාන මාරුවට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ බිරිඳ ද කුරුණෑගල ශික්ෂණ රෝහලේම වෛද්‍යවරියන් ලෙස සේවය කරති.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් කෝටි ගණනින් වංචා කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නැගෙන චෝදනා වලට ඇති සම්බන්ධය ගැන විමර්ශනය කිරීම සඳහා අත් අඩංගුවට ගන්නා ලද ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මේ වනවිට පසුවන්නේ රිමාන්ඩ් භාරයේය.

ඔහු රාජපක්ෂ පාලනය සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ධූරය දැරුවෙකි.☐

© JDS