මහින්දගේ ආරක්ෂාවට අපරාධ චූදිතයකු යටතේ විශේෂ නාවික බලකායක්

කිත්සිරි විජේසිංහ විසිනි


පරාධ චෝදනා යටතේ අත් අඩංගුවට පත්වීම මගහැර සිටින ශ්‍රී ලංකාවේ ඉහලම හමුදා නිලධාරියා විසින් අණදෙනු ලබන විශේෂ ප්‍රහාරක බලකායක් ව්‍යවස්ථා විරෝධීව අගමැති ධූරය ලබාගැනීමේ චෝදනාවට ලක්ව සිටින  මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා පත්කර  ඇත.

හිටපු නාවික හමුදාපති හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යටතේ නාවික  හමුදාවේ විශේෂ යාත්‍රා බල ඝණයේ සමාජිකයන් සහ ඉන් පරිබාහිරව ස්ථාපිත කරන ලද විශේෂ කණ්ඩායමක සෙබළුන්ගේද එකතුවකින් සැදුම්ලත් මැරීන් බලකා ඒකකයක් මෙසේ පිහිටුවා තිබේ.

අපරාධ චූදිත නිලධාරීන්

දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා යොදවනු ලබන මෙවැනි ඒකකයන් සාමාන්‍යයෙන් පොලිස්පතිවරයාගේ හෝ ප්‍රභූ ආරක්ෂක ඒකකය භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු විධානයන්ට යටත්ව ස්ථාපිත කෙරුණ ද, මෙම ඒකකය පිහිටුව ඇත්තේ  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ආඥාව යටතේ ය.

බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ඇසෙන නඩු වල සැකකරුවන් ද ඇතුළු සියයකට අධික සෙබළුන් සහ නිලධාරීන් පිරිසකගෙන් සැදුම්ලත් මෙම විශේෂ මැරීන් ඒකකයේ සාමාජිකයන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටද අතිශයින් සමීප පිරිසක් බව ද වාර්තා වේ. විශේෂයෙන්ම  විවිධ අපරාධ චෝදනා යටතේ අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්  භාරයෙන් ඇප පිට නිදහස්ව සිටින නාවික නිලධාරින් කිහිප දෙනකුම මෙහි  ඒකක භාර නිලයන්ට පත්කර තිබේ.

'රවීන්ද්‍ර අල්ලන්නම බෑ'

අපරාධ  චෝදනා ලැබ ඇප පිට නිදහස්ව සිටින නාවික සෙබළුන් මෙන්ම, අධිකරණය විසින් තෙවතාවකට වැඩි වතාවක් අත් අඩංගුවට ගන්නා ලෙසට නියෝග කොට තිබියදී අත්අඩංගුවට ගැනීම වළකා තිබෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ද මෙම විශේෂ ඒකකය යටතේ මහින්ද රාජපක්ෂ සමඟ සම්බන්ධව සිටීමෙන්  ඉදිරි පරීක්ෂණවලට දැඩි අගතියක් සිදුවිය හැකි බවට පොලිස් විමර්ශක නිළධාරිහු බිය පල කරති.

අපරාධ චූදිත නාවික නිලධාරීන් නිදහස් කරන ලෙසටත්, පසුව එම නිලධාරීන් සේවයෙහි පිහිටුවන ලෙසටත් නියෝග කරන ලද ජනාධිපතිවරයා පරීක්ෂණ අඩාළ වීමේ වගකීම පුර්ණ වශයෙන් භාරගත යුතුව ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.

පරීක්ෂණ පෙරට ගෙනයාම සඳහා රවීන්ද්‍ර විජේගුණරත්නගෙන් ප්‍රශ්න කිරීමට ඉල්ලා සිටින අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ පොලිස් නිලධාරී නිශාන්ත සිල්වා ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මාරුකර යවන ලද බව පොලිස්පතිවරයා නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශ කළේය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විවේචන හේතුවෙන් එම නිලධාරියාගේ ස්ථාන මාරුව පසුව අවලංගු කරන ලදී.☐

© JDS