අග්නිදිග සිසු විරෝධතා මර්දනය කිරීම ගැන බලධාරීන්ට චෝදනා

කිත්සිරි විජේසිංහ විසිනි


ලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලනය විසින් එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට එරෙහිව මර්දනකාරී ක්‍රියා පිළිවෙත උත්සන්න කරමින් සිටින්නේ යැයි ශිෂ්‍ය ක්‍රියාකාරිහු චෝදනා කරති.

'තාක්ෂණවේදය ‍විෂය මාලාවේ පවතින ගැටළු හා ඒ හා බැඳුණු ශිෂ්‍ය මර්දනය' මැයෙන්, නිවේදනයක් නිකුත් කරමින් අග්නිදිග විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාලයේ පවතින පරිපාලන සහ අධ්‍යයන ගැටළුවලට විසඳුම් ලබා දෙනු වෙනුවට උසස් අධ්‍යාපන සහ විශ්ව  විද්‍යාලීය බලධාරිහු  සිසු සිසුවියන්ව ඉලක්ක කරමින් මර්දනකාරීව කටයුතු කරන බවයි.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය  ආරම්භ කොට වසර දෙකකට ආසන්න වෙමින් තිබුණ ද පීඨය ආරම්භ කිරීමේදී පැවති ගැටළු තවමත් නොවිසඳි ඇතැයි පවසන එම කමිටුව, තාක්ෂණ පීඨයට පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමේදි නිසි පරිදි පාඨමාලා  හෝ විෂය නිර්දේශයන් සැලසුම්  කර නොතිබුණු බවත්, සය මසක් තුළ එම ගැටළු විසඳන බවට එම අවස්ථාවේදි විශ්ව විද්‍යාලයේ පරිපාලන ප්‍රධානීන් සිසු සිසුවියන්ට සහ දෙමාපියන්ට පොරොන්දු වු බවත් සිහිපත් කරයි. 

පංති තහනම් හා නඩු

පවතින ගැටළු විසඳා ගැනීම සඳහා ශිෂ්‍යයන් සංවිධානගත වීම වැළැක්වීම උදෙසාත්, තාක්ෂණ පීඨ ශිෂ්‍යයන් විශ්ව විද්‍යාලය තුළ හුදකලා කොට ඔවුන්ට එරෙහිව දැඩි නීති රීති හඳුන්වා දීමටත් උසස් අධ්‍යාපන බලධාරින්ගේ අනුදැනුම මත විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු කරන්නේ යැයි තාක්ෂණ පීඨ ශිෂ්‍යයෝ චෝදනා කරති.

පසුගිය මාස කිහිපය තුළදි අග්නිදිග  විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය වඩාත් තීව්‍ර කී ඇති බව පවසන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කිසිදු පිළිගත හැකි නෛතික ක්‍රියාපටිපාටියකින් තොරවම ශිෂ්‍යයන් විශාල පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත්, පන්ති තහනම් කිරීමටත්, විභාගවලට පෙනී සිටීම තහනම් කිරීමටත් පරිපාලනය විසින් කටයුතු කර  ඇතැයි ද චෝදනා කරයි.

ඒ අනුව, පසුගිය කාල සීමාවේදි සිසුන් 55 දෙනෙකුගේ පන්ති තහනම් කොට, සිසුන් 55 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ප්‍රකාශ කරන ශිෂ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ සිසුන් 136 දෙනකුට විභාගවලට පෙනී සිටිමේ අයිතිය ද පරිපාලනය විසින් අහෝසි කර ඇති බව ය.


බලහත්කාරී දිවුරුම් ප්‍රකාශ

"අපි අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධව උසස් අධ්‍යාපන බලධාරින්ව දැනුවත් කළත් පලක් වුනේ නෑ. උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂයි, අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනුයි එක්ක ශිෂ්‍යයෝ පවත්වපු සාකච්ඡාවකදි ඇමතිවරයා අපෙන් ඇහුවේ අපේ ළමයි තමුසෙලාගේ වයසේදි උපාධිත් අරන් හොඳ රක්ෂාවලුත් කරනවානම් ඇයි තමුසෙලාට බැරි එහෙම කරන්න කියලා"යැයි අග්නිදිග විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති ගිහාන් වීරසේකර ජේඩීඑස් හා කියා සිටියේය.

"මේ සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයාටත් ලිඛිතව ශිෂ්‍ය ගැටළු ගැන දැනුම් දුන්නා. නමුත් කිසිම ප්‍රයෝජනයක් වුණේ නෑ. දැන් අපේ කිසිම ඉල්ලීමක් ගැන සලකා බලන්නවත් පරිපාලනය සූදානම් නෑ".

තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය  නම් විශ්ව විද්‍යාල පරිපාලනයට එරෙහිව උද්ඝෝෂණවල නිරත නොවන ලෙසට බල කරමින් ඇතැම් ශිෂ්‍යාවන්ගෙන් බලහත්කාරයෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධව අදාළ සිසුවියන්ගේ දෙමාපියන්  විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන ලද බවත්, එසේ දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම වහාම නතර කරන ලෙස මානව හිමිකම් කොමිසම විසින් විශ්ව විද්‍යාල පරිපාලනයට  දැනුම් දී ඇති බවත් ගිහාන් වීරසේකර ප්‍රකාශ කළේය.

මේ අතර පරිපාලන ගැටළු විසඳන ලෙස වගකිවයුත්තන්ට බල කරමින් විශ්ව විද්‍යාල සිසුහු සඳුදා (15) සිට විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුළ රැඳී සිටිති. තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අජිත් ප්‍රසන්න ප්‍රකාශ කර සිටියේ දින 300කට වැඩි කාලයක් දේශන වර්ජනයක නියැලී සිටින සිසුන් සිය ගැටළු විසඳීමට බලකරනු වස් පරිපාලන ගොඩනැගිල්ල තුළ රැඳී සිටින බව ය.

"මේ වෙනකොටත් අපි දින 90කට වැඩි කාලයක් තිස්සේ කොළඹ ලිප්ටන් වටරවුමේ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ගෙනයමින් තිබෙනවා. නමුත් වගකිව යුතු කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් තවමත් සාධාරණ ප්‍රතිචාරයක් දක්වා නැහැ"යි ඔහු කියා සිටියේය.

මේ අතර අක්කරෙයිපත්තු මහේස්ත්‍රාත් අධිකරණය විසින් අඟහරුවාදා නිකුත්කරන ලද නියෝගයක් මගින් විරෝධතාවයේ නිරත ශිෂ්‍යයන්ට සහ ඔවුනට සහයෝගය පළ කරනු වස් රැඳී සිටින සරසවි සිසු මව්පියන්ට වහාම ගොඩනැගිලි පරිශ්‍රයෙන් ඉවත්වන ලෙස දන්වා තිබේ.☐

© JDS