ආණ්ඩුවේ තහනම බිඳ ඒකාබද්ධ විරෝධතා මැයි දිනය කොළඹදී සමරයි

අතුල විතානගේ විසිනි.


‍වෙසක් සැමරුම් හේතු කොටගෙන අගනුවර දී ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් කල් දමන්නට රජය විසින් ගන්නා ලද තීරණයට විරෝධය පාමින් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ අඟහරුවාදා දිනයේ දී (1) කොළඹ දී මැයි දිනය සැමරූහ.

'මැයි දිනය රැකගැනීම සඳහා වෘත්තීය සමිති එකමුතුව' විසින් කැඳවන ලද මැයි දින විරෝධතාවට වෘත්තීය සමිති 23ක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූ අතර කොළඹ කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කළ පෙළපාලිය ඕල්කට් මාවත හා ලෝටස් පාර ඔස්සේ ගමන්කර ජනාධිපති ලේකම් කාර්යාලය යාබදව පැවැති විරෝධතා රැළියකින් අවසන් විය. විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගමන්කිරීම වැළැක්වීම සඳහා පොලිස් මාර්ග බාධක යොදවා අවහිර කර තිබුණි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්

"ජාත්‍යන්තර කම්කරු පංතියට වෙන් වූ මැයි දිනය ලංකාවේ වැඩ කරන ජනයාට තහනම් කරපු ආණ්ඩුවේ නායකයෝ මැයි දින පණිවුඩ නිකුත් කරන්නට කටයුතු කිරීම හාස්‍ය ජනක ක්‍රියාවක්" බව විරෝධතාවට සහභාගී වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

"ආගම් ඇදහිල්ල කියන්නේ පුද්ගලික කටයුත්තක්. නමුත් මැයි දිනය කියන්නේ සියළු ආගමිකයන්ටත්, නිරාගමිකයන්ටත් අයිති ජාත්‍යන්තර දිනයක්. 1969දී ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව වෙසක් දවස වෙනුවෙන් මැයි දින පෙළපාලිවලට සීමා පනවලා යාපනයේ විරෝධතාකරුවන්ට විරුද්ධව ප්‍රචණ්ඩ මර්දනයක් දියත් කළා. ඊ ළඟට, 1987දී ජේ ආර් ජයවර්ධන මැයි දිනය තහනම් කරලා තහනම කැඩූ විරෝධතාකරුවන්ට නාරාහේන්පිට දී වෙඩි තියලා මරලා දැම්මා. 1996දී චන්ද්‍රිකා කුමාරණතුංගගේ ආණ්ඩුවත් මැදි දිනය දවසේ වීදි පෙළපාලිවලට පනවපු තහනම් උල්ලංඝණය කරපු වාමාංශික පෙළපාලිකරුවන්ට හයිඩ් පාක් එක ළඟදි කැරළි මර්දනය පොලිසිය යොදවලා පහර දුන්නා. මේ අවස්ථා හැම එකක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග විදියටයි ඉතිහාස ගතවෙලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුවත් ඒ ඉතිහාස පිටුවෙම නම ලියාගත්තා" ඔහු කීය.

ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (සීඑම්යූ), ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය, තැපැල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමය, ලංකා වතු සේවා සංගමය, විදුලි සන්දේශ සේවක සංගමය, රක්ෂණ සේවක සංගමය,  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය,  රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ස්වාධීන තටාක සේවක සංගමය, එක්සත් පොදු සේවක සංගමය, ආහාර බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, වාණිජ හා කාර්මික සේවක සංගමය, සමස්ත ලංකා විදුලි සන්දේශ සේවක සංගමය, ටෙලිකොම් ඉන්ජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, ජාතික නිදහස් වෘත්තීය සමිතිය, ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය, අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනය, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය හා ජාතික ඉඩම් කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ගණනාවක් ඒකාබද්ධ විරෝධතා මැයි දින රැළිය සඳහා එක්ව සිටියහ.

රැස්වීම් පිටි තහනම්

සංවිධානාත්මක කම්කරු ජනයාගේ අයිතීන් පදනම් කොටගත් ඉල්ලීම් 14ක් අඩංගු සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීමට ද වෘත්තීය සමිති නියෝජිතයෝ කටයුතු කළහ.

ආණ්ඩුව විසින් මැයි දිනය කල් දැමීමට ගත් තීරණය මත කොළඹ නගරයේ සාම්ප්‍රදායිකව මැයි දින රැළි පැවැත්වෙන ක්‍රීඩාංගන හා රැස්වීම් ස්ථාන වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ සඳහා ලබා නොදීමට ද කොළඹ නගර සභාව පියවර ගෙනු තිබුණි.☐

© JDS

විරෝධතා මැයි දින සේයා රූ පහත සබැඳියෙන්