සේවක දඩයමට එරෙහිව ලංවිම සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

සනත් බාලසූරිය විසිනි


ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) වෘතීය සමිති නායකයන් හය දෙනකු ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව මාර්තු 14 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ඉරිදා දිනයේ (18) මරදානේ පිහිටි යුක්තිය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී එහි නායකයෝ සිය ඉදිරි වෘත්තීය සටන් ක්‍රියාමාර්ග අනාවරණය කළහ.

'ප්‍රචණ්ඩ ක්‍රියා'

පසුගිය ජනවාරි 17 වැනිදා කොළඹ ප්‍රධාන කාර්යාලයේදී ලංවීම පාලනාධිකාරය හමුවී සාකච්ඡා කිරීමට ගන්නා ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ''නීතිවිරෝධී සහ ප්‍රචණ්ඩකාරී මෙහෙයුමක්" ලෙස හඳුන්වමින්, ඊට නායකත්වය දීමේ චෝදනා යටතේ මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් අජිත් දේවප්‍රිය, නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ පී ප්‍රභාත්, උපසභාපති පී ඩී එස් ප්‍රේමලාල්, කමිටු සාමාජිකයන් වන ඩී එස් විජයලත්, ප්‍රියන්ත ගුණසේකර සහ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් යන වෘත්තීය සමිති ක්‍රියාධරයන් ය.

එකී වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කරන ලද නියෝගයක් නොතකා ක්‍රියාකිරීම, ආයතනයේ විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් ''බරපතල විශමාචාර ක්‍රියා" සිදුකිරීම ඇතුළු චෝදනා හේතුවෙන් මෙම වෘත්තීය සමිති නායකයන් ගේ වැඩ තහනම් කරන බව ලංවිම පාලනාධිකාරිය විසින් නිකුත්කරන ලද වැඩතහනම් ලියැවිලිවල සඳහන් වේ.

වැඩතහනමට ලක්කළ සියලු සේවකයන් නැවත සේවයේ පිහිටුවන තුරු එම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට ලංවිම වෘත්තීය සමිති සන්ධානයේ විධායක කමිටුව තීරණය කර ඇත.

'මූල්‍ය වංචා මාෆියාවක්'

මෙම අඛණ්ඩ වැඩවර්ජනයට පූර්වගාමීව සඳුදා (19) සියලුම ලංකා විදුලිබල මණ්ඩල වැඩබිම්වල කළුකොඩි එසවීමේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබෙන අතර, එතැන් පටන් මාර්තු 9 වැනිදා දක්වා පළාත් මට්ටමින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය දිගින් දිගට ම බරපතල මූල්‍ය වංචා සිදුවන, රජයට හෝ විෂයය භාර අමාත්‍යවරයාට පවා පාලනය කළ නොහැකි, අදෘෂ්‍යමාන බලාවේගයන් ක්‍රියාත්මක වන ආයතනයක් බවත්, එහි වන මෙම 'මාෆියාවට' එරෙහිව කටයුතු කිරීම තමන් ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාධරයන් ගේ වැඩතහනමට හේතු වූ බවත් ඉරිදා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ ය.

වැඩ තහනමට ලක්කරන ලද සියලු සේවකයන් කොන්දේසි විරහිතව යළි සේවයේ පිහිටුවන තුරු සිය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයන බව ද ඔහු වැඩිදුරටත් කීය.☐

© JDS