දෙමළ උද්ඝෝෂකයන්ට මරණ තර්ජන කළ සෙන්පතියාට සේවා තහනමක්


න්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවකට සහභාගි වූ දෙමළ ජාතික විරෝධතාකරුවන් පිරිසක් ඉදිරිපිට ප්‍රසිද්ධියේ අභිනයෙන් මරණ තර්ජන කිරීම හේතුවෙන් සේවය අත් හිටවනු ලැබූ ඉහල හමුදා නිලධාරියා දෙමළ ජන සංහාරයක් සිදුවූ මුලතිව් ප්‍රහාරයේ යෙදුනු 59 බල සේනාව යටතේ වගකීම් ඉසිලූ අයකු බව අනාවරණය වී තිබේ.

එම තොරතුරු හෙළිදරව් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සහ ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project - ITJP) විසින් බ්‍රිගේඩියර්වරයාගේ යුද භුමිකාව පිළිබඳව සඳුදා (5) එළිදැක්වූ  සවිස්තරාත්මක ඒකාබද්ධ වාර්තාව මගිනි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක පරිවාරක (Defense Attaché) ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ  සේවය වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය  කටයුතු කර ඇති බව අඟහරුවාදා (6) විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දා ප්‍රසිද්ධියේ මරණ තර්ජන අභිනය පෑ බ්‍රිගේඩියර්වරයාට රාජ්‍ය තාන්ත්‍රක නිලධාරියකු ලෙස එක්සත් රාජධානියේ සේවය කිරීමේ අවස්ථාව ලබාදීමේ දී, ඔහු ගේ අතීත මානව හිමිකම් වාර්තා පිළිබඳ සැළකිලිමත් වීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අසමත් වී ඇති බවට සිය වාර්තාව මගින් ජේඩීඑස් සහ ITJP චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දින සමරුව යෙදී තිබූ පසුගිය 04 වැනිදා ලන්ඩන් නගරයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දක්වමින් උද්ඝෝෂණය කළ සිය ගණනක් වූ දෙමළ විරෝධතාකරුවන්ට ගෙල සිඳලන බව හඟවමින් බ්‍රිගේඩියර්වරයා විසින් කිහිප වතාවක්ම අභිනයෙන් සංඥා කරනු දැක්වෙන වීඩියෝව මහත් ආන්දෝලනයකට තුඩුදුන්නේ ය.

මේ සිද්ධියෙන් ''බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට සම්බන්ධ යැයි සැක කළහැකි පුද්ගලයන් එක්සත් රාජධානියට ඇතුළුවීමෙන් හා එහි නිල මට්ටමේ රාජකාරිවල නිරතවීමෙන් වැළැක්වීම සහතික කිරීම සඳහා ගතයුතුව තිබූ අනිවාර්ය ක්‍රියාමාර්ගයන් ගැනීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව අසමත් වී ඇති බව මනාව පැහැදිළි වන්නේය" යි ජේඩීඑස් සහ ITJP සිය වාර්තාවෙන් කියා සිටියහ.

හමුදා පුහුණුවට බ්‍රිතාන්‍ය ආධාර

යුද හමුදාව හා පොලීසිය සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ද ඇතුළත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ  ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා එක්සත් රාජධානියේ ආණ්ඩුව පවුම් මිලියන 6.5ක් වැය කරයි. නිසි සොයාබැලීමකින් තොරව හමුදා නිලධාරීන් සිය රට තුළ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා පිළිගැනීමෙන් එක්සත් රාජධානිය මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් වන සිය වගකීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ඉහත වාර්තාවේ දැක් වේ.

එබැවින්, ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වීමේ දී තමන් අනුගමනය කරනු ලබන නිර්ණායකයන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පැහැදිළි කළ යුතුව ඇතැ'යි ITJP හා ජේඩීඑස්  සංවිධාන ප්‍රකාශ කර තිබේ.

අත් අඩංගුවට ගෙන දෑත් බඳින ලද දෙමළ තරුණයන්ගේ ගෙල සිඳ මරාදැමීම ද ඇතුළත් අනීතික ඝාතන ඇතුළු බරපතල යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ වෙත මීට පෙර බරපතල චෝදනා නැගී තිබෙන අතර, මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා ප්‍රසිද්ධියේ දක්වන ලද ගෙල සිඳදැමීමේ අභිනය දෙමළ ජාතිකයන් තුළ හිතාමතා භීතියක් ඇතිකිරීමේ අරමුණින් කරන ලද්දේ යැයි පිළිගත හැකි බව ද වාර්තාවේ දැක් වේ.

රෝහල්වලට ෂෙල් ප්‍රහාර

මුලතිව් රෝහලට ෂෙල් ප්‍රහාර එල්ලකරන ලදැයි චෝදනා එල්ලවන හමුදා ක්‍රියාන්විතයන්හි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් ප්‍රනාන්දු ''සටන් පන්නරය" ලද සොල්දාදුවෙක් ලෙස හැඳින්වෙයි. කොටි සංවිධානයට එරෙහි වැලිඔය සිට මුලතිවු දක්වා ක්‍රියාන්විතයන්හි යෙදුණු 59 වැනි බල සේනාව යටතේ ක්‍රියා කළ 11වැනි ගැමුණු හේවා බල ඇණියේ අණ දෙන්නා වශයෙන් ක්‍රියා කළ එවකට ලුතිනන් කර්නල්වරයෙක් වූ ප්‍රියංක ප්‍රනාන්දු, 2008 දෙසැම්බර් මාසයේ දී කර්නල් අතුල ගලගමගේ ගේ නායකත්වය යටතේ ආරම්භ කළ පස්වැනි කාර්ය සාධක බලකායට අයත් සේනාංකයක මෙහෙයුම් වගකීම දැරීය.

එම කාලයේ අවතැන් වූ දස දහස්  සංඛ්‍යාත සිවිල් වැසියන් රැස්ව සිටි මුලතිව් ප්‍රදේශයට වඩාත් ආසන්නව ප්‍රහාරක මෙහෙයුම්වල නිරත වූයේ 59වැනි බල සේනාව වූ අතර, රජයේ හමුදාවන්ගෙන් නොකඩවා එල්ල වූ ෂෙල් ප්‍රහාරයන්ට මුලතිව් නගරයේ රෝහල ද ගොදුරු වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වකීය විමර්ශන වාර්තාව මගින් තහවුරු කර තිබේ.

අධිකරණයක දී ඔප්පු වුවහොත් යුද අපරාධයක් ලෙස සැළකීමට ඉඩ ඇති යුධ ක්‍රියාවක් වන රෝහලට එල්ල කැරුණු මේ ප්‍රහාරයන්ට ඔහුගේ කිසියම් සම්බන්ධයක් වී නම් එහි ඔහු ගේ භූමිකාව කුමක් වීදැ'යි යන්න පිළිබඳ පැහැදිළි කිරීමක් බ්‍රිගේඩියර්වරයාගෙන් ලබාගැනීමට ක්‍රියා කරන්නැ'යි, හමුදා නිලධාරීන් නිල තනතුරු සඳහා භාරගැනීමේ දී සුපරීක්ෂාවට ලක්කිරීමේ කටයුතු භාරව සිටින අධිකාරීන්ගෙන්  ITJP සහ ජේඩීඑස් සංවිධාන ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දින සමරුව ඉලක්ක කරගනිමින් 'දෙමළ සම්බන්ධීකාරක කමිටුව' (Tamil Coordination Committee) සමඟ එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කළ 'දෙමළ සහයෝගීතාව' (Tamil Solidarity)  සංවිධානය, මෙම අනිසි හැසිරීම ප්‍රදර්ශනය කළ ආරක්ෂක පරිවාරක නිලධාරියා වහාම තනතුරෙන් පහකරන්නැ'යි ඉල්ලාසිටින අන්තර්ජාල පෙත්සමක් ‍ඊයේ දිනයේදීම අරඹා තිබිණි.

ඔහු ගේ අභිනය "අමුත්තකු ලෙස බ්‍රිතාන්‍යය තුළ සේවය කරන වගකිව යුතු නිලධාරියකුට නො ගැලපෙන, එසේම පිළිගත නො හැකි හා තර්ජනාත්මක හැසිරීමක් විදහා පෑමක්" ලෙස හදුන්වමින් මෙම බ්‍රගේඩියර්වරයා තනතුරෙන් නෙරපා හරින්නැ'යි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ කණ්ඩායමක් විසින් විදේශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ.

උක්ත වීඩියෝව සම්බන්ධයෙන් "ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමුකර ඇතැ" යි කියන විදේශ කටයුතු අමාත්‍යාංශය, සිද්ධිය පිළිබඳ "ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇතැ"යි අඟහරුවාදා නිකුත් කරන ලද සිය නිවේදනයෙන් කියා සිටියි.☐

© JDS