පශ්චාත් වර්ග සංහාරක සංහිඳියාව ගැන උගෙනීමට ශ්‍රී ලංකා හමුදා දූත පිරිසක් රුවන්ඩාවට


ටුට්සි ගෝත්‍රික ජනයා මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරමින් දියත් කළ වර්ග සංහාරයෙන් අනතුරුව රුවන්ඩාව සංහිඳියා ක්‍රියාමාර්ගයකට එළැඹෙමින් සිටින්නේ කෙසේදැ‘යි අධ්‍යයනය කිරීම සඳහා, ඉහළ පෙළේ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් දූත කණ්ඩායමක් රුවන්ඩාවෙහි නිල චාරිකාවක් සඳහා පිටත්කර හැර තිබේ.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා හා මාණ්ඩලික විදුහලේ ප්‍ර‍ධාන සම්බන්ධීකාරකවරයාගේ නායකත්වයෙන් යුතු දහසය දෙනකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා දූත පිරිස, අගෝස්තු 09 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙලෙස රුවන්ඩාවේ සංචාරයක නියැලෙයි.

ශ්‍රී ලංකාව ද ‘මහත් විපත්තිදායක සමයකින්‘ පීඩා විඳි බවත්, එබැවින් රුවන්ඩාව සිය විනාශයෙන් යළි යථා තත්ත්වයට පත් වූ ආකාරය උගෙනීමට සිය රටට අවශ්‍ය බවත්, දූත පිරිසේ ප්‍ර‍ධානී කර්නල් කිත්සිරි ඒකනායක කියා සිටි බව රුවන්ඩාවේ ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටී.

වන්නියේ අවසන් මෙහෙයුම් සමයේ දී 58 වැනි සේනාංකය යටතේ ක්‍රියාත්මක වූ 11 වැනි ශ‍්‍රී ලංකා පාබල සේනා බල ඇණිය මෙහෙයවූ කර්නල් ඒකනායක, ඉන් අනතුරුව පූනරින් හි 661 වැනි බල සේනාවේ අණදෙන නිලධාරියා වශයෙන් පත්කරනු ලැබිණි.

හමුදාවට භාරවීමට ආ එල් ටී ටී ඊ සංවිධානයේ දේශපාලන අංශ නායකයන් ඝාතනය කිරීම ඇතුළු යුධ අපරාධවලට 58 වැනි සේනාංකය සම්බන්ධ බවට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ මණ්ඩලයක් සිය වාර්තාවෙන් 2011දී කියා සිටියේය.

‘වර්ග සංහාර වැළැක්වීමට‘

රුවන්ඩාවේ සුළුතර ටුට්සි ජනයාට එරෙහිව 1994 දී සිදු වූ වර්ග සංහාරයේ වින්දිතයන් වෙනුවෙන් කිගාලි අගනුවර ඉදිකර ඇති වර්ග සංහාරක ස්මාරකය කරා ද ගිය ශ්‍රී ලංකා ආරක්‍ෂක දූත පිරිසේ සාමාජිකයෝ, ඊට සිය ගෞරවය දැක්වූහ. 1994 වසරේ සංහාරයට ගොදුරු වූ 250,000කට අධික පිරිසක් සිහිපත් කරනු පිණිස මෙම ස්මාරකය ඉදිකොට තිබේ.

ලෝකයේ කිසියම්ම හෝ තැනක යළිත් වර්ග සංහාරයක් සිදුවීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍ර‍ජාව එක්සත්ව කටයුතු කළ යුතු බව එහිදී ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍ර‍ධානියා කියා සිටියේය.

“අප සියල්ලන්ම මනුෂ්‍යයන් වන අතර, මෙවැනි ඛේදවාචකයන් දුටු විට ඒවා තේරුම් ගැනීම අප කා හටත් බෙහෙවින් අසීරු වේ. එහෙත් මනුෂ්‍යයන් වශයෙන් එවැනි දේවල් නැවත කිසිදු දේශයක හෝ අපේ ම රට තුළ හෝ සිදුවීම වැළැක්වීම අපගේ රාජකාරිය හා වගකීමයි", කර්නල් ඒකනායක කියා සිටියේය.

“රුවන්ඩා ආරක්ෂක හමුදාව ස්ථාපිත කර තිබෙන්නේ 1994 වර්ග සංහාරය අවසන් වූ වහාම ය. වසර 23ක් තුළ ඔවුන් අත්පත් කරගෙන තිබෙන වෘත්තීය වර්ධනය සහ සුවිශේෂ ජයග්‍ර‍හණයන්ගෙන් අපට පාඩම් ඉගෙනගැනීමට හැකි යැ,"යි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

සංචාරයේ නිරත සෙසු ත්‍රිවිධ හමුදා නියෝජිතයන් සමඟ රුවන්ඩානු වින්දිතයන්ගේ ස්මාරකය වෙත ගිය කර්නල් ඒකනායක, වර්ග සංහාරයේ වින්දිතයන්ට පුෂ්පෝපහාර දක්වා ගෞරවාචාර දැක්වීය.

ශ්‍රී ලංකා කර්නල්වරයා සිය කතාවේ දී රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ වෙත ද සිය ප්‍ර‍ශංසාව පිරිනැමී ය.

“ගරු ජනාධිපති පෝල් කගාමේගේ නායකත්වය හා රට සංවර්ධනය කිරීමට එතුමා ගන්නා උත්සාහය ද අප ගේ නො මඳ ප්‍ර‍ශංසාවට ලක් වේ" යැයි ඔහු කියා සිටියේ ය.

1994 දී බහුතර හුටු පාලනය අවසන් කළ ටුට්සි කැරලිකාරී හමුදාව වූ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණේ (Rwandan Patriotic Front - RPF) සෙන්පති ලෙස ටුට්සි සුළුතරයේ සන්නද්ධ අරගලයට නායකත්වය දෙන ලද්දේ රුවන්ඩාවේ වත්මන් ජනාධිපති කගාමේ විසිනි.

බ්‍රේමන් මහජන විනිශ්චය සභාව

වර්ග සංහාරයක බිහිසුණු අත්දැකීම්වලින් පීඩාවට පත් ජාතියක් වෙතින් ඉගෙනීමට ශ්‍රී ලංකාව තැබූ පියවර, රුවන්ඩා ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා උපාය මාර්ග අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් ෆෙර්දිනෝ සෆාරිගේ අගය කිරීමට ලක්විය.

“අප අනෙක් අයගෙන් උගත් පරිදිම, අපෙන් ඉගෙනීමට කැමැති සියල්ලන්ට ද දොරවල් විවෘත ව පවතී," යැයි  ශ්‍ර‍ී ලංකා හමුදා දූත පිරිස අමතමින් ජෙනරාල් සෆාරි කියා සිටියේ ය.

දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරක අපරාධයට ශ්‍රී ලංකා ආණ්ඩුව වැරදිකරු බව 2014 දී ජර්මනියේ බ්‍රේමන් නගරයේ දී පැවැති අන්තර් ජාතික විනිශ්චය සභාවක් විසින් ඒකමතිකව තීන්දු කරන ලදී. රෝමයේ කීර්තිමත් නිත්‍ය මහජන විනිශ්චය සභාව විසින් කැඳවන ලද මෙකී නඩු විභාගය සඳහා ආර්ජන්ටිනාව, අයර්ලන්තය, කොලොම්බියාව, මියන්මාරය, තුර්කිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්මේනියාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව සහ නෝර්වේ යන රටවලට අයත් 11 දෙනකුගෙන් යුතු ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් සහභාගී විය.

මෙම වර්ග සංහාරක චෝදනාව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්  ප්‍ර‍තික්‍ෂේප කරන ලදී.

රුවන්ඩාවේ වර්ග සංහාරය වැනි අතීත ඛේදවාචකයන්ගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පාඩම් උගෙන නැති බව එම සංවිධානය දෙමළ ජනයා සමූල ඝාතනයකින් බේරාගන්නට අසමත් වීමෙන් පෙනී යන්නේ යැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර විමර්ශන වාර්තාවක් මගින් 2012 දී පෙන්වා දෙනු ලැබිණ.

1994 වසරේ දින 100ක් ඇතුළත බහුතර හුටු ගෝත්‍රික පාලන තන්ත්‍රය විසින් මිලියනයකට ආසන්න ජනතාවක් රුවන්ඩාවේ දී ඝාතනය කරන ලද අතර සුළුතර ටුට්සි ජනතාව මෙන් ම ජාතිකත්වය ගැන සැලකීමකින් තොර ව සිය දේශපාලන එදිරිවාදීහු ද අන්තවාදී හුටු පාලකයන්ගේ ඝාතන ඉලක්ක බවට පත්වූහ.☐

© JDS