කැරළි මර්දන හමුදාවෝ කොළඹ දී සරසවි සිසුන් වටලා පහර දෙති

මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 15 ක් මුල්කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය  සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු සිසු උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීම සඳහා පොලිස් කැරලි මර්ධන හමුදාවන් විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් විශ්ව විද්‍යාල සිසුන් 20 දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර එයින්  සිසුන් 5 දෙනෙකුගේ තත්ත්වය  බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇත.

දිවයිනේ සියළු විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෛද්‍ය පීඨවල සිසුන් ඊයේ (17) කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කරා උද්ඝෝෂණ පා ගමනින් පැමිණියේ මතභේදයට තුඩු දී තිබෙන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය සඳහා බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, පාසැල්වල මුදල් අය කිරිම වහාම නතර කිරීම සහ අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් 15 ක් රජය වෙත යොමු කරමිනි.

අධිකරණයෙන් වාරණ නියෝගයක්

මහජනතාවට පීඩාකාරි සහ මහජන සාමය කඩවන ආකාරයට උද්ඝෝෂණයක් පැවැත්වීමට විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කටයුතු සංවිධාන කර ඇති බැවින් එවැනි උද්ඝෝෂණයක් පැවැත්වීමට අවසර නොදෙන්නැයි ඉල්ලමින් කුරුඳුවත්ත පොලිසිය විසින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරනු ලැබු ඉල්ලීමක් සලකා බැලු එම අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඊයේ සහ අද දිනයන්   තුළ එනම් 17 සහ 18 යන දෙදින එවැනි කිසිදු උද්ඝෝෂණයක් නොපවත්වන ලෙස ය. නමුත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ ශිෂ්‍ය සංවිධාන එම වාරණ නියෝගය නොතකමින් දිවයිනේ සියළු විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතනයන් සහ වෛද්‍ය පීඨවල සහභාගිත්වය සහිතව දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක් පවත්වනු ලැබුණි.

කොළඹ නගරය දෙසට සිසුන්  පැමිණි සියළු මාර්ග පොලිසිය විසින් වසා දැමීම නිසා අවසානයේ විහාර මහා දේවි උද්‍යානය අසලට පැමිණි බවත්, එහිදි පොලිස් කැරලි මර්ධන හමුදාවන් විසින් සිසුන් වටකරමින් එකවැර දැවැන්ත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත්  අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලයේ කැඳවුම්කාර ලහිරු වීරසේකර ජේඩිඑස් හා කියා සිටියේය.

සැළසුම් සහගත ප්‍රහාරයක්

"මෙයට කලින් පොලිසිය අපිට එල්ල කරපු ප්‍රහාරයන් වගේම මේ ප්‍රහාරයත් ඉතාම සැළසුම් සහගතව පෙර සුදානමක් සහිතව එල්ල කරපු එකක්. අපි ඉස්සල්ලාම ටෙක්නිකල් හන්දිය පැත්තේ ඉඳලා අධ්‍යාපන අමාත්‍යාංශය දිහාට එන කොට පොලිසිය එක වැරම පාර වහලා දැම්මා. පස්සේ අපි හයිඩ් පාර්ක් පැත්තෙන් එන කොට ඉබ්බන්වල හන්දියෙන් ආයෙත් වතාවක් පාර වැහුවා. ඊට පස්සේ තමයි අපි වෙනත් කෙටි පාරවල් වලින් විහාරමහා දේවි උද්‍යානය ලඟට ඇවිත් රැස්වීමක් තියන්න පටන් ගත්තේ. එතකොට සිසුන්ව වටකරලා හැම පැත්තෙන්ම එකවර පොලිසිය කඳුළු ගෑස් ගැහුවා. කිසිම කෙනෙකුට බේරිලා යන්න ලැබුණේ නෑ. කඳුළු ගෑස් වැදිලා හිටිය සිසුන්ට පොලිසිය එලව එලවා  පහර දුන්නා", අවිශිබම කැඳවුම්කරු ප්‍රකාශ කළේය.

ප්‍රහාරයෙන් පසුව පොලිසිය විසින් සිසුන් 8 දෙනෙකුව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ඔවුන් ලබන 19 වැනි දින දක්වා රීමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක්, මොරටුව විශ්ව විද්‍යාලයේ එක් සිසුවෙක් මෙන්ම සබරගමුව සහ අග්නිදිග විශ්ව විද්‍යාලයන්හී සිසුන් දෙදෙනෙක් මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබු බව ද ලහිරු වීරසේකර කියා සිටියේය. මෙම සිසුන් පිරිස විවෘත අධිකරණයක් හමුවට නොපමුණුවා මහේස්ත්‍රාත් නිල නිවස වෙත රැගෙන යාමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇතැයිද අවිශිබම ක්‍රියාකාරීහු චෝදනා කරති.

"සිසුන්ව අත්අඩංගුවට ගත්තේ කුරුඳුවත්ත පොලිසියෙන්. පසුව කුරුඳුවත්ත පොලිසියට අරන් ගිහින් එතැනින් කොටුව පොලිසියටත්, පස්සේ වේල්ලවීදිය පොලිසියටත්  අරන් ගිය බවටයි අපිට දැනගන්න ලැබුණේ. අපි එහේ සොයා බලන කොට දැන ගන්න ලැබුණා වේල්ලවීදිය පොලිසියේ තියාගෙන ඉදලා ආයෙත් කොටුව පොලිසියට අරන් ගිහින් එතැනින් මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට රැගෙන ගියා කියලා. අපි දන්නේ නෑ ඇයි මෙහෙම තැන් තැන්වලට අරන් ගියේ කියලා" වීරසේකර කීය.

කෙසේ නමුත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ දක්වා පොලිසිය විසින්  විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ඉලක්ක කරමින් එල්ල කරන ලද ප්‍රහාරයන්ට අමතරව සිසුන් විශාල පිරිසක් විවිධ හේතු දක්වමින් පොලිස් අපරාධ කොට්ඨාශයට සහ රහස් පොලිසිය වෙත කැඳවා තිබේ. ඒ ආකාරයටම තවත් සිසුන් විශාල පිරිසක් රීමාන්ඩ් සහ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු අතර මේ වනවිටත් නොවිසඳුනු නඩු ගණනාවක් සිසු ක්‍රියාකාරින්ට එරෙහිව  විවිධ අධිකරණවල ඇසෙමින් පවතී.☐ 

© JDS