නිදහස් සැමරුමට එරෙහිව උතුරේ හා දකුණේ විරෝධතා

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අට දහසකින් සමන්විත ආචාර පෙළපාලි ද, සන්නාහ සන්නද්ධ රථ හා අවි ආයුධ ද ප්‍රදර්ශනය කරමින් රජය විසින් සමරන ලද නිදහස තමන්ට හිමිව නැති බැවින් එය ‘කළු දිනයක්' ලෙස නම් කළ විරෝධතා ව්‍යාපාර සෙනසුරාදා (04) දිනයේ උතුරේ හා දකුණේදී පැවැත්වුණි.

යුද්ධයෙන්, හමුදාකරණයෙන් හා ඉඩම් අහිමිවීමෙන් පීඩාවට පත් දෙමළ ජනයා විසින් සංවිධානය කර තිබූ විරෝධතා උතුරු පළාතේ ස්ථාන කිහිපයකම පැවැත්වුණු අතර, දකුණේ විරෝධතා සංවිධානය කර තිබුණේ වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංවිධාන විසිනි.


‘කළු දිනය’ පිළිබඳ අදහස මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ගුවන් හමුදාව විසින් ඉඩම් අත්පත් කරගෙන සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරෙයිපත්තු ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශයේ කේපාපුලව් ග්‍රාම නිලධාරී  වසමට  අයත් පිලව්කුඩියිරුප්පු ග්‍රාමයේ මුල් පදිංචි කරුවන් විසිනි.

ඉඩම් කොල්ලයට එරෙහිව

අවුරුදු හතක් තිස්සේ අඛන්ඩව ගුවන් හමුදාව විසින් ‘බලහත්කාරයෙන්’ භුක්ති විඳින සිය ඉඩම් නිදහස් කළ බවට රජයෙන් ලද දැනුම්දීමක් අනුව ජනවාරි මස අවසානයේ තම ඉඩම් කරා ගිය එහි මුල් පදිංචිකරුවන්ට ඉඩම් ලබා දී තිබුණේ නැත. තමන් යළි වරක් රැවටීමකට ලක්ව ඇති බවත්, තම ඉඩම් ආපසු ලබා දීමට ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතු බවත් නො එසේ නම් තමන් නිදහස් දවස ‘කළු දවසක්’ බවට පත් කරන බවත් පැවසූ  පිලව්කුඩියිරුප්පු වාසීහු,  ගුවන් හමුදා කඳවුර අබියස වාඩිලා ගනිමින් අඛන්ඩ සත්‍යග්‍රහයක් ඇරඹූ හ.  ඒත් ඔවුන්ගෙ ප්‍රශ්නයට වගකිව යුතු කිසිදු පාර්ශවයකින් ප්‍රතිචාරයක් නොලැබීම හේුවෙන් පෙබරවාරි 4 වැනිදා උතුරු අර්ධද්වීපයටම ‘කළු දිනයක්’ බවට පත් විය.

උතුරු අර්ධද්වීපයේ පවතින දැඩි හමුදාකරණ ක්‍රියාවලිය, විසිදහසකට අධික අතුරුදහන්වුවන් පිළිබඳ යුක්තිය ඉටු නොවීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, සිංහල හමුදා විසින්  බලහත්කාරයෙන් අතපත් කරගෙන සිටින දෙමළ ජනතාවට අයත් ඉඩම් නිදහස් නොකිරීම ආදී කරුණු මෙම ‘කළු’ විරෝධතාවට පදනම් වූ බව මෙම විරෝධතාවට සහභාගි වූ උතුරු පළාත් මභා මන්ත්‍රි කේ. සිවාජිලිංගම්,  ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.


මේ අතර, කොළඹ දී නිදහස් සැමරුම් සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නිල රාජ්‍ය උත්සවයට සමාන්තරව, ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආචාර පෙළපාලි සහිත හමුදා නිදහස් සැමරුමක් සෙනසුරාදා යාපනයේ නගරයේ දී ද පැවැත්වුණි.

විරෝධතා පා ගමනක්

උතුරේ විරෝධතාවන්ට සමාන්තරව ‘‘නිදහසට පෙර වදනක් - නිදහස සමග සේවක අයිතීන් අර්ථවත් කරමු’ යන තේමාව යටතේ ‘69 වැනි නිල නිදහස් සමරුව’ට එරෙහිව සාමූහික විරෝධය පළ කිරීම සඳහා  දකුණේ වෘත්තීය සමිති විසින් ද ‘විකල්ප නිදහස් දිනයක්’ පැවැත්වූහ. මේ සඳහා ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වතු සේවා නිලධාරීන්ගේ සංගමය, සමස්ථ ලංකා විදුලි සංදේශ සේවක සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා කම්කරු සම්මේලනය, වාණිජ හා කාර්මික සේවක සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහභාගි විය.


කොළඹ, විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා විරෝධතා පා ගමනකින් මහජන පුස්තකාල ශාලාවට පැමිණි වෘත්තීය සමිති හා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ එහිදී රැස්වීමක් පැවැත්වූහ.

ටෙලිකොම් සටන

දින 40 කට වැඩි කාලයක් තිස්සේ ටෙලිකොම් මෑන්පවර් සේවකයන් තමන් ස්ථිර සේවාවට ඇතුළත් කර ගන්නා ලෙස සාමකාමී අරගලයේ යෙදුනු විට අධිකරණය මගින් වාරණ නියෝග නිකුත් කරනු ලැබීමෙන් නොනැවතී එහි වෘත්තී සමිති නායකයකු පැහැරගනු ලැබීමත්, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අධිකරණය හරහා නීත්‍යානුකුල කිරීමට එරෙහිව ශිෂ්‍ය සංවිධාන විරෝධතා පළ කරන විට උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් ශිෂ්‍යයන්ට එරෙහිව ද වාරණ නියෝග පනවමින්, ශිෂ්‍ය නායකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමත් හෙළාදැකීමට මෙම විරෝධතාව කැඳවා තිබුණි.

රුපියල් මිලියන ගණනක් වැය කර සංකේතාත්මකව යුද බලය ප්‍රදර්ශනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිදහස සමරන මොහොතක, ඔහුගේ සොහොයුරා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයන් 1700 දෙනෙකු දින 40ක් තිස්සේ අඛන්ඩව වෘත්තීය අරගලයක නිරත වීම විසින්  නිදහස පිළිබඳ යාථාර්ථය පෙන්නුම් කෙරෙන  බව මෙම විරෝධතාව ගැන අදහස් දක්වමින්,  ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය’  (සීඑම්යූ) ප්‍රධාන ලේකම්, සිල්වෙස්ටර් ජයකොඩි, ජේ.ඩී.එස්. හා පැවසී ය. ජනාධිපතිවරයා පවසන මේ නිදහසට කම්කරුවන්ගේ නිදහස අයත් නොවන්නේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේ ය.

මර්දනයට නිදහස

මුදල් අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයෙකුට අයත් කටුනායක ආයතනයක කම්කරුවන් 30 දෙනෙකු ‘භයානක කම්කරුවන්’’ ලෙස නම්කොට සේවයෙන් පහකර ඇත්තේ වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමේ ‘වරද’ හේතුවෙන් බව ද ඔහු පෙන්වා දුන්නේය. 

"ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන දයාසිරි ජයසේකර උතුරු පළාත් මහඇමති විග්නේශ්වරන්ව සුනඛයා කියලා හඳුන්වලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට අදහස් ප‍්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැත්නම් මොන නිදහසක්ද අපි සමරන්නේ? ආණ්ඩුව කියන විදියට අපිට හතර වතාවක් නිදහස ලැබිල තියෙනවා. ඒ නිදහස අපි සමරන්නේ විදේශ රටවලින් යුද්ධායුධ ගෙන්නලා ප්‍රදර්නය කරලා" යැයි සිල්වෙස්ටර් ජයකොඩි ජේඩීඑස් වෙත කියා සිටියේය.

"මෙච්චර යුද්ධ ටැංකි තියෙනවා. මෙච්චර හමුදාව ඉන්නවා. මෙච්චර බලය තියෙනවා, අලූතෙන් කඳුළු ගෑස් ගෙනත් තියෙනවා. නමුත් කඳුළු ගෑස් ගහන්න, වාරණ නියෝග ගන්න, අත්අඩංගුවට ගන්න හා හිරේ දාන්න ආණ්ඩුවට නිදහස තියෙනවා ," යි ඔහු ප්‍රකාශ කළේය.☐

© JDS