'ජනපති ප්‍රකාශය නීතියේ ආධිපත්‍යයට එරෙහිව විධායක බලය යෙදවීමක්' - නීති ක්‍රියාකාරිහු පවසති.

පරාධ චෝදනා ලද ආරක්ෂක අංශ සමාජීකයන්ට එරෙහිව නඩු පැවරීමත්,ඔවුන්ව අධිකරණය හමුවට කැඳවීමත් දැඩි ලෙස හෙලා දකිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගිය දිනෙක සිදු කරනු ලැබු ප්‍රකාශය මගින් අපරාධ පරික්ෂණ ක්‍රියාවලියේ මෙන්ම  අධිකරණ පද්ධතයේත් බරපතල අර්බුදයන් ඇති විය හැකි යැයි නීති ක්‍රියාකාරිහු අනතුරු අඟවති.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වුණු රජයේ ආරක්ෂක අංශ සමාජිකයන් වෙත නිවාස සහ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩ සටහනක ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බදාදා (12) අවධාරණය කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට නඩු පවරමින් ඔවුන්ව අධිකරණය හමුවට කැඳවීම තමන් දැඩි ලෙස හෙලා දකින බව ය.

"ජනාධිපතිවරයා විදිහට සම්පූර්ණයෙන්ම මම, මගේ අප්‍රසාදය සහ පිළිකුල ප්‍රකාශ කරනවා යුද්ධය කරපු නාවික හමුදාවේ හමුදාපතිවරුන් තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම ගැන" හෙතම පැවසීය.

නරක පුර්වාදර්ශයක්

තමන් කිසිදු අවස්ථාවක රණවිරුවන් පවා දීමට හෝ හමුදාව දුර්වල කිරිමට හෝ ඉඩ නොදෙන බව කියා සිටි ජනාධිපති සිරිසේන, ස්වාධීන කොමිසම් සභා හෝ අපරාධ පරීක්ෂණ අංශ සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය තවදුරටත් ආරක්ෂක අංශ සමාජිකයන්ට එරෙහිව කටයුතු කරනු ලැබුවහොත් එම ආයතනවලට සහ පුද්ගලයන්ට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවටත් අනතුරු ඇඟවිය.

ජනාධිපති සිරිසේනගේ මෙම ප්‍රකාශය මගින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන්ට එල්ල විය හැකි බලපෑම කවරේදැයි විමසීමේදි ජේෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ ජේඩීඑස් හා කියා සිටියේ අපරාධ චෝදනා ලද කවර හෝ පුද්ගලයෙකුට එරෙහිව අධිකරණයක් හමුවේ නඩුවක් ගොනු කොට ඇති විට රටේ ජනාධිපතිවරයා විසින් එයට එරෙහිව අදහස් දැක්වීම මගින් ඉදිරි පරික්ෂණවලට විශාල අගතියක් සිදුවිය හැකි බවයි. එසේම අපරාධ චෝදනා ලබා සිටින හමුදා සමාජිකයන් වෙනුවෙන් විධායක බලය භාවිතා කිරීමට තමන් පසුබට නොවන බවට ජනාධිපතිවරයා පැවසීමම ඉතා නරක පුර්වාදර්ශයක් සපයන බව පවසන නීතිඥ කුමාරගේ මෙවැනි ප්‍රකාශයන් මගින් ඉදිරි අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටත් අනතුරු හැඟවීය.

"මේ කොමිසම් පත් කලේ ජනාධිපති. දැන් පරීක්ෂණ පවත්වන කොට ඔහු මෙවැනි ප්‍රකාශ නිකුත් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? පරීක්ෂණ වලට බාධා කිරීම,ඒවා අඩපණ කිරීම නෙමෙයිද?" නීතිඥ කුමාරගේ විමසා සිටියි

'අපරාධ චෝදනාවලට රණවිරුවන් කියා පිරිසක් නෑ'

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින හමුදා බුද්ධි අංශ සමාජිකයන් කිසිදු පිළිගත හැකි නෛතික පටිපාටියකින් තොරව රඳවා තබා ගෙන සිටින්නේ යැයි ජනාධිපතිවරයා විසින් නගන චෝදනාවන් පිළිබඳව විමසීමේදි නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පවසනු ලැබුවේ එය නීතිය පිළිබඳව දැනුවත්භාවයකින් තොර දේශපාලනඥයෙකුගේ පදනම් විරහිත ප්‍රකාශයක් බවයි.

"අපරාධ චෝදනාවලදි රණවිරුවෝ කියලා පිරිසක් නෑ. හමුදාවේ ඉඳලා වැරදි කරපු අයට මෙයට කළිනුත් උසාවි මගින් දඬුවම් දීලා තියෙනවා. අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න ඒ ඒ ආයතන තියෙද්දි අපරාධ චෝදනා ලබලා ඉන්න අය සතුටු කරන්න මෙහෙම දේශපාලන ප්‍රකාශ නිකුත් කිරිමෙන් වෙන්නේ ඒ පරීක්ෂණ අඩපණ වීමක් නෙමෙයිද? එහෙම වුණාම පරීක්ෂණ පවත්වන නිලධාරීන් තැති ගැන්මට ලක් වෙනවා. සමහර විට අධිකරණ නිලධාරීන්, විනිශ්චයකරවරුන් පවා දෙපාරක් හිතන්න ගනියි තමන් දෙන තීන්දු පිළිබඳව. මොකද 'රණවිරුවන්' කියන අයට අගතියක් වුණොත් එයට එරෙහිව විධායක බලය යොදනවා කියන්නේ රටේ ජනාධිපති. අනෙක අපරාධ පරික්ෂණවලදි දේශපාලනඥයන්, හමුදා සමාජිකයන් හෝ රටේ ජනප්‍රිය නාමධාරි පුද්ගලයන් වශයෙන් වෙන් කරන්න කියලා කාටවක් අණ කරන්න ජනාධිපතිට බෑ".

රටේ විධායක බලය හිමි පුද්ගලයා විසින් කරනු ලබන මෙවැනි ප්‍රකාශයන් මගින් දැනට සිදුවෙමින් පවතින ප්‍රධාන පෙලේ පරීක්ෂණවලට කවර නම් බලපෑමක් ඇති කරනු ලැබිය හැකිදැයි විමසීමේදි නතිඥ කුමාරගේ කියා සිටියේ අදාළ ප්‍රකාශයෙන් දිනක්, දෙකක් තුළම ඒ සම්බන්ධයෙන් ඉඟියක් නොයෙක් පාර්ශවයන් වෙතින් ලැබුණු බවයි.

"මිනිස්සුන්ව අතුරුදහන් කරපු, පැහැරගෙන ගිය, මනුෂ්‍ය ඝාතනයන් සිදුකළ බවට චෝදනා ලබපු ආරක්ෂක අංශ සමාජිකයන් වෙනුවෙනුයි රටේ ජනාධිපති මෙහෙම පෙනි සිටින්නේ. ඉදිරියට ආරම්භ කරන්න තියෙන පරික්ෂණ වලටත් මේ තත්ත්වය බලපාවි".

බලය වෙනුවෙන් කළ ප්‍රකාශයක්

ජනාධිපති සිරිසේන මෙවැනි ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි තමන් මීට පෙර බලාපොරොත්තු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය කළණ සේනාරත්න ජේඩීඑස් හා පවසා සිටියේ ය.

"මම නම් හිතන්නේ ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය අහම්බයක් නෙමෙයි. ඒක එක්තරා විදිහක සැළසුම් සහගත එකක්. ඒක යම් කිසි ඉදිරි දේශපාලන අරමුණක් වෙනුවෙන් කරපු ප්‍රකාශයක්. ඒකාබද්ධ විපක්ෂයය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස් විසින් ආණ්ඩුව ඉලක්ක කරලා ගෙනයන උද්ඝෝෂණ නිසා සමහර විට ජනාධිපතිවරයා තැතිගැනීමකට ලක්වෙලා ඇති. මට හිතෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සිද්ධ වෙලා තියෙනවා පක්ෂයේ බලය රැකගන්න යම් ජනප්‍රිය දෙයක් කරන්න. ඒක තමයි මම හිතන්නේ මෙහෙම ප්‍රකාශයක් කරන්න ඇත්තේ".

මෛත්‍රිපාල - ගෝඨාභය සම්මුතියක්

නව දේශපාලන පෙරළියක පෙර නිමිති මෙම සිදුවීම් හරහා දක්නට ඇති මුත් එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සෘජු ලෙසම දායක කර ගත් එකක් ලෙස තමන්ට පැවසිය නොහැකි යැයි කියා සිටින ආචාර්ය සේනාරත්න එය එසේ මුත් හිටපු ආරක්ෂ ලේකම්වරයා සහ වත්මන් ජනාධිපතිවරයා අතර යම් සම්මුතියක් ඇති විය හැකි බවට අනුමාන පළ කරයි.

"අපේ සමාජය තුළ හුවමාරු වෙන ඇතැම් තොරතුරුවලට අනුවත් පෙනෙන එකක් තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මිත්‍රශීලි භාවයක් දක්වනවා යැයි කියන එක. ඒකට හේතුවක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ අයත් දන්නවා මහින්දව යළි රාජ්‍ය නායකයා කිරිම අපහසු එකක් කියලා තරමක් හිතන.නමුත් ඔවුන්ට විතරක් නෙමෙයි, සිංහල බෞද්ධ බලවේගවලටත් ගෝඨාභය කියන්නේ හොඳ සාධකයක්. ඒ නිසා ඒ පුද්ගලයාව යම් විදිහකට පාලනය කර ගන්න එක මේ වෙලාවේ මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ දේශපාලනයට අතිශයින්ම වැදගත්.අපි දන්න විදිහට ගෝඨාභයගේ සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කණ්ඩායම් අතර තියෙන සන්නිවේදනය ඉතාම යහපත් විදිහට දිගු කලෙක සිට පැවතෙනවා".

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යුධ හමුදා සමාජිකයන් වෙනුවෙන් කරනු ලැබු ප්‍රකාශය හේතුවෙන් මේ වන විටත් දැඩි අර්බුදකාරි තත්ත්වයක් අධිකරණ පද්ධතිය තුළ ඇති වෙමින් තිබෙන අතර ඇතැම් නඩු කටයුතුවලදි එම ප්‍රකාශය උපුටා දක්වමින් සැකකරුවන් වෙනුවෙන් නීති තර්ක ගොඩ නැගීමටද ඔවුන්ගේ නීතිඥවරුන් කටයුතු කරමින් ඇති බවට වාර්තා වේ.☐

© JDS