සිසුන් මර්දනයට අධිකරණය යොදාගන්නා බවට සිසු සංගම් වෙතින් චෝදනා

ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ හා ශිෂ්‍ය උද්ඝෝෂණයන් මැඩ පැවැත්වීමේ අරමුණින් ආණ්ඩුව සහ විශ්ව විද්‍යාල පරිපාලනය විසින් අධිකරණය යොදා ගනිමින් සිටින්නේ යැයි  ශිෂ්‍ය සංගම් චෝදනා කරයි.

කිසිදු නෛතික පදනමකින් හෝ පිළිගත හැකි තත්ත්වයකින් තොරව හුදෙක් මර්දනය සහ පළිගැනීම පමණක් අරමුණු කොට ගෙන ආණ්ඩුව තමන්ට  හිතැති, විශ්ව විද්‍යාල පරිපාලන බලධාරීන් සහ ආචාර්යවරුන් යොදාගෙන ශිෂ්‍ය ක්‍රියාකාරින්ට එරෙහිව ව්‍යාජ චෝදනා නිර්මාණය කරමින් සිටින බව පවසන  අන්තරය ප්‍රමුඛ ශිෂ්‍ය සංගම්, එම චෝදනා ක්‍රියාවට නැගීම සඳහා අධිකරණය යොදා ගනිමින් සිටින බව පෙන්වා දෙයි.

ආණ්ඩු දෙකකින් එකම පිළිවෙත

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ළහිරු වීරසේකරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපෑ හේතු පැහැදිලි කරමින් පේරාදේණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති චතුර චින්තක බණ්ඩාර JDS හා කියා සිටියේ  'ශිෂ්‍ය උද්ඝෝෂණයන් සහ අයිතිවාසිකම් මැඩලීම සඳහා අධිකරණ නියෝගයන් ලබා ගැනීම' පසුගිය ආණ්ඩු සමයේදි ද බහුල වශයෙන් යොදාගත් බව ය.

"දැන් මේ ආණ්ඩුවත් කරන්නේ පරණ ආණ්ඩුවේ සෙල්ලමමයි. ඒ දේ කරන්න සම්මතයට පිටින් ගිහින් අධිකරණයයත් යම් මැදිහත් වීමක් කරන බවයි පෙනෙන්නේ. ළහිරු සහෝදරයව අත් අඩංගුවට ගත්තේ, රක්ෂිත බන්ධනාගාරගත කළේ අධිකරණ නියෝගයන් කඩ කළ බවට හා අධිකරණයට අපහාස කළ බවට චෝදනා මතයි. අපි අහන ප්‍ර‍්නය තමයි ශිෂ්‍යයෝ හරි වෙනත් පාර්ශවයක් හරි තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම, අරගල කිරීම කෙහොමද අධිකරණයට අපහාසයක් වෙන්නේ කියලායි."

එසේම අධිකරණ නියෝග නොතකා හැරිය බවට සහ අධිකරණයට අපහාස කළ බවට විශ්ව විද්‍යල සිසුන්ට චෝදනා එල්ල කළද ඒ චෝදනා පිටුපස ඇති සැබෑ තතු බලධාරීන් විසින් සඟවන බව ඔහු පෙන්වා දෙයි.

"ඇයි අපි උද්ඝෝෂණ කළේ? මෙයට පෙර කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාව සහ එම විශ්ව විද්‍යාලයේම සහෝදරියන් තිදෙනෙක්ව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා. ඔවුන්ව නිදහස් කරන්නැයි කියමින් තමයි ඔය කියන උද්ඝෝෂණය පසුගිය 15 වැනිදා කොළඹ කොටුවේදි පැවැත්වුවේ. මේ සහෝදරියන්ට තියෙන චෝදනාව තමයි අනවසරයෙන් නේවාසිකාගාරයට ඇතුල්වීම කියන එක. නමුත් ඔවුන් එම නේවාසිකාගාරයේ ලියාපදිංචි ශිෂ්‍යාවන්. මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සහෝදරයාට තියෙන චෝදනාව ශිෂ්‍යාවන් රැස් කොට  රැස්වීමක් පැවැත්වීමයි. මේවා සිසුන් සිරගත කරන්න හේතුද?".

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන ළහිරු වීරසේකර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන් මත රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ ශිෂ්‍ය අරගල මැඩලීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් JDS හා  කියා සිටියේ ශිෂ්‍ය අරගල මැඩළීම සඳහා වාරණ නියෝගයන් ලබා ගැනීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල තමන් තරයේ හෙළා දකින බවයි.

'ප්‍ර‍ජාතන්ත්‍රවාදය කෝ?'

"ආණ්ඩුව එක් පැත්තකින් අදහස් ප්‍රකාශ කිරීමේ අදහස පිළිබඳව කයිවාරු ගහනවා. තමන් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රකින බවටත්, ඒවා ක්‍රියාත්මක වීමට ඇති අවකාශයන් ආරක්ෂා කරන බවටත් රාජ්‍ය බලධාරීන් කියනවා. උද්ඝෝෂණ මැඩලන්න, ඒවා වාරණය කරන්න අධිකරණය භාවිතා කරපු හැටි අපි පහුගිය ආණ්ඩු සමයෙත් දැක්කා. දැන් ඒ දේම අයෙත් අපිට දකින්න ලැබෙනවා නම් ආණ්ඩුව කියන ප්‍රජාතන්ත්‍රවාදය කොහේද තියෙන්නේ කියලායි අපිට පාලකයන්ගෙන් අහන්න වෙන්නේ".

ශිෂ්‍යයන්ගේ, තරුණයන්ගේ අදහස් සාවධානව ඉවසා විසඳුම් ලබාදිය යුතුව ඇති බවට පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරනුයේ සටන් සහ අරගලවලින් තොර විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් අතීතයේදී පවා නොතිබුණු බව ය.

"ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ තමන්ට හීලෑ, යටහත් ශිෂ්‍ය ප්‍රජාවක්ද? තරුණ පිරිසක්ද? අපිට ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇතැම් ක්‍රියාකාරකම්, මැදිහත්වීම් පිළිබඳව ගැටළු තියෙන්න පුලුවන්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ සිද්ධ කෙරෙන මර්දනය හෝ ආණ්ඩු බලධාරීන් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කෙරෙන අනිසි මැදිහත්වීම් හෝ අනුමත කරන්න පුලුවන් කියලා. අපි දන්නවා මේ රටේ උසස් අධ්‍යාපනය වගේම පාසැල් අධ්‍යාපනයත් අද එකම අවුල් ජාලාවක්. එහෙම අනන්තවත් නොවිසඳනු ප්‍රශ්න, අර්බුද තියෙද්දි තමයි බලධාරීන් මේ ශිෂ්‍යයන් සිරගත කරමින් ඔවුන් එක්ක එදිරිවාදිකම් ඇතිකර ගනිමින් ඉන්නේ".☐

© JDS