ශ්‍රී ලංකා රජයේ දැනුවත් ප්‍ර‍මාදයන් ඉවසන බවට එක්සත් ජනපදයට චෝදනා

යුද අපරාද පිළිබඳ සාධාරණ හා ජාත්‍යන්තර ක්‍රියාවලියක් අරභයා පවතින එක්සත් ජාතීන්ගේ ප්‍රතිඥාවට ගරු කරන ලෙස ශ්‍රී ලංකාවට බල කිරීමට ඔබාමා පාලනය කටයුතු නොකිරීම පිළිකුල් සහගත බව ප්‍රමුඛ පෙළේ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදක බුද්ධි මණ්ඩලයක් ප්‍රකාශ කොට ඇත.

''සත්‍යය සහ ප්‍ර‍තිසන්ධානය අතිශයින්ම වැදගත් වූ මොහොතක, ජනාධිපති සිරිසේනගේ පසුගාමී ක්‍රියා පිළිවෙත කෙරෙහි එක්සත් ජනපදය බඳු සැලකියයුතු ජාත්‍යන්තර බලවේගයන් ප්‍රතිචාර දක්වන්නේ අන්ධයන් ලෙස''යැයි ඕක්ලන්ඩ් ආයතනය  (Oakland Institute) සිය අලුත්ම වාර්තාව ඉදිරිපත් කරමින් පවසයි. යුද්ධය අවසන් වූ බවට ආණ්ඩුව කළ ප්‍රකාශයෙන් සත් වසකට පසුව වුවද, යුද්ධය හේතුවෙන් අවතැන් වූ දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවගේ ඉරණම කෙබඳුදැයි ඕක්ලන්ඩ් ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති එම වාර්තාවේ සවිස්තරාත්මකව සඳහන් කෙරේ. 

'පෙරළා පැමිණීමේ පොරොත්තුව' (Waiting to Return Home) ලෙසින් නම් කර ඇති මෙම වාර්තාවේ සඳහන් අන්දමට ‘අභ්‍යන්තර අවතැන් වීම් නිරීක්ෂණ මධ්‍යස්ථානය' (IDMC) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛනයන්ට අනුව 2015 වසරේ ජූලි මස වන විට උතුරු හා නැඟෙනහිර පළාත් අභ්‍යන්තර අවතැන්වීම් සංඛ්‍යාව 73,700 කි.  අදාළ ඇස්තමේන්තුවලට අනුව යළි සිය නිවෙස් කරා ඒමට නිල වශයෙන් ලියාපදිංචි 794,000ක් ප්‍රජාව අතුරින් දසදහස් ගණනකට කල් පවත්නා විසඳුම් තවමත් ලැබී නැත.

සිය නිවෙස් කරා යළි පැමිණ පදිංචි වීමේ අවකාශය අවුරනු ලැබ ඇත්තේ 160,000ක් පමණ හමුදා නිලධාරීන් උතුරු හා නැඟෙනහිර විශාල ප්‍රදේශයක 'අධි ආරක්ෂක කලාප' මැයෙන් කඳවුරු ලා සිටීමයි.

සිරිසේනගේ ප්‍රතිඥා

ඕක්ලන්ඩ් වාර්තාවේ සඳහන් අන්දමට 'ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ස්වකීය ජනාධිපතිවරණයේදී අභ්‍යන්තර අවතැන්වූවන්ට දුන් ප්‍රතිඥා ඉටු කිරීමට' මේ තාක් සමත් වී නැත.

'මෙම පොරොන්දුව අක්කර තුන්දහස් එකසිය තිස් දෙක හමාරක් සම්බන්ධයෙනි. නමුත් කෙතරම් භූමි භාගයක හමුදා වාඩිලා සිටියිද යන්න සංසන්දනාත්මකව වටහා ගැනීම සඳහා පළාලි අධි ආරක්ෂක කලාපය ගතහොත් එය පමණක් මෑතක් වනතුරුම අක්කර හය දහස් එකසිය පනස් දෙකකි. කොළඹ කෙන්ද්‍රීය රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වාර්තාවන්ට අනුව උතුරු පළාතේ පමණක් මෙසේ වාඩිලා සිටින පෞද්ගලික හා රජයේ භූමි ප්‍රමාණය අක්කර දොළොස් දහස් හත්සිය පනස් එකකි.'

ආණ්ඩුව ශක්තිමත් කිරීම

එසේව වුවද කලින් ආණ්ඩුවට වඩා බටහිර කෙරෙහි ළැදි පිළිවෙතක් අනුගමනය කරන ශ්‍රී ලංකාවේ නව පාලනය, වෙළෙඳ වාසි තකා ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය කටයුතු කරන බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි.

2016 පෙබරවාරි මස ඇමරිකානු රා‍ජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ මූලිකත්වයෙන් මුළුදුන් 'ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල් සාකච්ඡා' පිළිබඳ ආවර්ජනය කරමින් ඕක්ලන්ඩ් වාර්තාව පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ යුගයෙන් පසු ඔබාමා පාලනය සහ ලංකාව අතර මිතුදමේ 'සැබෑ පුනරුදයක්' ඇති වූ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් ප්‍රකාශ කරනු ලැබූ බවයි.

“යුද අපරාධ පිළිබඳ සාධාරණ හා ජාත්‍යන්තර ක්‍රියාවලියක් ගැන පවතින එක්සත් ජාතීන්ගේ ස්ථාවරයට ගරු කරමින් තමන් ඉදිරිපත් කළ පොරොන්දු මත පිහිටා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවට බල කිරීමේ ප්‍රබල හැකියාවක් ශ්‍රී ලංකාවේ ප්‍ර‍ාන අපනයන වෙළඳපොළ වන එක්සත් ජනපදයට ඇතත්, මේ වන තුරු එවැන්නක් කිරීමට ඔවුන් පියවර ගෙන නැතැ”යිද අදාළ වාර්තාව වැඩි දුරටත් පසඳහන් කරයි.☐

© JDS